ඕනෑම දේකට ඔට්ටු එකම සතා



වතුර නොමැතිව මනුෂ්‍ය අපට දිවි රැක ගත හැක්කේ පැය 100 ක් දක්වා පමණි. එහෙත්, වතුර නොමැතිව දශක ගණනක් දිවි රැක ගෙන සිටිය හැකි ජීවියකු සිටිනවා යැයි කීවොත් ඔබ පුදුම වෙනවා නොවේද? මේ ජීවියාගේ ප්‍රමාණය මිලිමීටරයකි.

පෘථිවියේ ඉතාමත් අධික උණුසුමක් යටතේ පමණක් නොව, ඉතාමත් අධික සීතල කාගලගුණයක් යටතේ දිවි රැක ගනිමින් ජීවත් වෙන්න මේ විස්මිත ජීවියාට හැකියාව ඇත. එපමණක් නොවෙයි, අධික විකිරණශීලීත්වයක් මැද වුවත් මේ ජීවියාට හානියක් සිදු වන්නේ නැත. මේ ජීවියා නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘ටාර්ඩිග්‍රෙට්’ යනුවෙනි. ඒ අනුව, සත්ව විද්‍යාඥයන්ට අනුව, පෘථිවියේ ජීවීන් අතරින් ඕනෑම දේකට ඔරොත්තු දිය හැකි, පෘථිවියේ ජීවීන් අතර සිටින ශක්තිවන්තයා වන්නේ ‘ටාර්ඩිග්‍රෙට්’ය. මිලිමීටරයක ප්‍රමාණය නිසා මේ ජීවියා දැක ගැනීමට නම් අන්වීක්ෂයක් අවශ්‍යය. පෙනුමෙන් හුරුබුහුටි, මහත වළසකු වැනිය. ඒ නිසාම, ඉංග්‍රීසි බසින් ‘වෝටර් බෙයාර්’ (දිය වලහා) යනුවෙන් ද ‘ටාර්ඩිග්‍රෙට්’ හැඳින් වෙයි.

පෘථිවි ජීව විශේෂ අතරින් බහුතරයකට ජීවත් වීමට වතුර එසේත් නැතිනම් ජලය අවශ්‍ය වෙයි. ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියට (සෛල අතරේ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය) ජලය අවශ්‍ය වෙයි. ඒත් ‘දිය වලහා’ ට මෙය අදාල වන්නේ නැත. මේ සත්වයාගේ සිරුරේ ක්‍රියාවලිය සිදුවන්නේ වෙනස් ආකාරයකටය. එය ‘ඇන්හයිඩ්‍රෝ බයෝසිස්’ යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙයි. ඇන්හයිඩ්‍රෝ බයෝසිස් ග්‍රීක වදනකි. එහි අර්ථය ‘ජලය නොමැතිව පවතින ජීවිතය’ යන්නය. ‘ටාර්ඩිග්‍රෙට්’ යනු මෙවැනි හැකියාවක් ඇති හුදෙකලා වූ ජීව විශේෂයක් නොවේ. බැක්ටීරියා සහ ඒක සෛල ආකේයා ජීවීන්ට ද විවිධ ශාක සහ ඇතැම් සත්ව විශේෂවලට ද ජලය නොමැතිව වියලීමට ලක් වී දිවි රැක ගැනීමට හැකියාව ඇත.

ටාර්ඩිග්‍රෙට් ජීවීන් ‘ඇන්හයිඩ්‍රෝ බයෝසිස්’ ක්‍රියාවලියට ලක් වෙන්නේ, හැකරැල්ලකු සිරුර හකුලා ගනිමිනි. ටාර්ඩිග්‍රෙට් පාද අට සිරුර තුළට වකුටු කර ගනිමින් බෝලයක් වෙයි. ඉන්පසු දශක ගණනාවක් හෝ ජලය ලැබෙන තුරු නිද්‍රාගත තත්ත්වයකට පත් වෙයි. ජලය නොමැති විට, ටාර්ඩිග්‍රෙට් ජීවීන් මෙසේ වකුටු වී, නිද්‍රාගත තත්ත්වයට පත් වෙද්දී, උන්ගේ සිරුරේ ඇති සුවිශේෂී අණු ටාර්ඩිග්‍රෙට්ගේ සෛලවලට අහිමි වන ජලය වෙනුවෙන් ආදේශක දියරක් නිර්මාණය කරයි.

එය දියර බුබුළක් වෙයි. ඩී.එන්.ඒ. අණු, ප්‍රෝටීන් සහ තුනී පටල ඒ තුළට ගෙන  ආරක්ෂා කරයි. හැකිළී ඇති අණු දිග හැරීම, ඩී.එන්.ඒ. විනාශවීම හෝ අණු එකිනෙකට බද්ධ වීම එයින් වැළකෙයි. යළි ලැබී, විජලන තත්ත්වය මඟ හැරී යද්දී, එම මෙම බුබුළ විනාශ වෙයි. එවිට නිද්‍රාගත තත්ත්වයෙන් ටාර්ඩිග්‍රෙට් අවදිවෙයි. විනාශ නොවුණු සෛල තිබුණු අයුරින්ම හොඳින් ක්‍රියාකාරී තත්ත්වයට යළි පත් වෙයි.

දැඩි වියළි පාරිසරික තත්ත්වයන් පමණක් නොව, තවත් අති බිහිසුණු පාරිසරික තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දීමට ඒ අනුව ටාර්ඩිග්‍රෙට්ට හැකිවෙයි. අයිස් තට්ටු අතරේ මිදී සිටින්න, නටන උණු වතුරේ නොනැසී සිටින්න පමණක් නොවෙයි, අධික විකිරණ මැද යහතින් ඉන්නත් ටාර්ඩිග්‍රෙට්ට හැකියාවක් ඇත. විස්මිත කරුණ නම්, අභ්‍යවකාශයේ පවා නිද්‍රාගත තත්ත්වයට පත් වී නොනැසී දිවි රැක ගන්න ටාර්ඩිග්‍රෙට්ට හැකියාව තිබීමය.

ඒනිසා, ටාර්ඩිග්‍රෙට් පෘථිවියට ආ පිටසක්වළ ජීවියකු යැයි ඇතැමුන්ගේ අදහස වී තිබේ. එහෙත්, එය වැරදි යැයි විද්‍යාඥයන් තහවුරු කර තිබේ. ඒ, ටාර්ඩිග්‍රෙට්ට ජීවීන්ගේ මූලාරම්භය පෘථිවියේ සිදුවුණු බවට පැහැදිලි සාක්ෂි ඔවුන්ට හමුවී ඇති බැවිනි. පෘථිවියේ අප ඇතුළු අනෙක් ජීවීන් සේම ටාර්ඩිග්‍රෙට් ද පරිණාමයට ලක් වී ඇත.

එම පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස ටාර්ඩිග්‍රෙට් විශේෂ 11,000 කට වැඩි ප්‍රමාණයක් අද ලොව සෑම අස්සක් මුල්ලකම ජීවත් වෙයි. සොයා නොගත් ටාර්ඩිග්‍රෙට් විශේෂ ද සිටිනවා යැයි ද අනුමාන කෙරේ. ටාර්ඩිග්‍රෙට් අපෘෂ්ඨවංශිකයෙකි. මොවුන්ගේ සමීපතම ඥාතීන් ලෙස සැලකිය හැක්කේ ආත්‍රපෝඩාවන් වන කෘමීන්, මකුළුවන් සහ ඉස්සන්, කකුළුවන් අයත් ක්රැස්ටාසෙයාවන්ය.

පැහැදිලි ලෙස වෙන්වී ඇති හිසසක්, එකිනෙකට සම්බන්ධ නොවුණු වෙන් වෙන්ව පිහිටි කුඩා ගාත්‍රා  සහ ශක්තිමත් නිය ටාර්ඩිග්‍රෙට් සතුය. ටාර්ඩිග්‍රෙට්ට ‘දිය වලහා’ යන නම පට බැන්දේ 1773  දී ජර්මන් සත්ව විද්‍යාඥ ජොහාන් ගූස් ය. ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන බැවින් ටාර්ඩිග්‍රෙට් සත්වයෝ සෑම මහද්වීපයකම ජීවත් වෙති. ඇන්ටාක්ටිකාවේ පවා ජීවත් වෙති. කාන්තාර, අයිස් තට්ටුවල, මුහුදේ, මිරිදිය ජලයේ, වැසි වනාන්තරවල, මඩ යමහල්වල සහ ඉහළම කඳු ශිඛරවල ටාර්ඩිග්‍රෙට් ජීවීන්ගේ නිවහන වෙයි.

ගෙවත්තේ, උද්‍යානවල පෙද පාසි අතරේ පවා ටාර්ඩිග්‍රෙට් ජීවීහු ජීවත් වෙති. ඔවුන් දැක ගැනීමට නම් ඔබට අන්වීක්ෂයක් මෙන්ම හොඳ ඉවසීමක් ද තිබිය යුතුය. විද්‍යාඥයෝ ටාර්ඩිග්‍රෙට් ගැන ලොකු උනන්දුවක් දක්වති. ඒ ටාර්ඩිග්‍රෙට් ජීවීන්ගේ නිද්‍රාගත තත්ත්වය කෙසේ සිදුවනවාදැයි තේරුම් බේරුම් කර ගනිමින්, එය මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ඖෂධ නිපදවීම කළ හැකි බැවිනි. කාලගුණ විපර්යාස නිසා ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයේ බෝග නිපදවා ගැනීමට ටාර්ඩිග්‍රෙට් ජීවීන්ගේ ඇති සුවිශේෂී හැකියාව යොදා ගැනීමට පුළුවනි. අභ්‍යවකාශයේ දිවි රැක ගැනීමට ටාර්ඩිග්‍රෙට් යොදා ගන්නා උපක්‍රම භාවිත කළ හැකිය. ගගනගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත උපක්‍රම භාවිත කළ හැකිය. අප පෘථිවිය වඩා වෙනත් විපරිත ජීවය ආරම්භ කිරීමට ටාර්ඩිග්‍රෙට් ජීවීන් යොදා ගැනීම කෙරෙහි ද විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇතැයි ද පැවැසෙයි.

ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම අසාර්ථක වීමට පෙර, පසුගිය අප්‍රේල් මාසයේ තවත් අසාර්ථක වූ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමක් සිදුවිය. එම මෙහෙයුමට සම්බන්ධ වූයේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය ඔවුන්ගේ මෙම මංගල  චන්ද්‍ර ගවේෂණ මෙහෙයුහට සම්බන්ධ රොබෝ ගවේෂණ යානය නම් කළේ ‘බෙරෙෂීත්’ යනුවෙනි. මෙහෙයුම සාර්ථක වූයේ නම්, ඊශ්‍රායලය සඳට යැවූ පළමු අභ්‍යවකාශ රොබෝ ගවේෂණ යානය ‘බෙරෙෂීත්’ වීමට ඉඩ තිබුණි. හීබෲ බසින්, ‘බෙරෙෂීත්’ යනු ‘ආරම්භය’ යන්නයි.

ආරම්භය කෙසේ වෙතත් ආරම්භයට පෙර මෙහෙයුම අවසන් වූයේ කිලෝ ග්‍රෑම් 15ක් බරින් යුත් ගවේෂණ යානය සඳ මතය කඩා වැටීමෙනි. එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. ගවේෂණ මෙහෙයුම දියත් කළේ ඊශ්‍රායලයේ යෙහුද් හි පිහිටි ඊශ්‍රායල අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සියේ මූලිකත්වයෙනි. බෙරෙෂීත් රොබෝ යානයේ අරමුණ වූයේ සඳමත පතිත කරමින්, විවිධාකාරයේ පරීක්ෂණ කීපයක් සිදු කිරීමය. යානයේ එක් කුටියක ක්ෂුද්‍ර ජීවී ටාර්ඩිග්‍රෙට් රංචුවක් ද සිට ඇත. මේ බව අනාවරණය වූයේ මීට සති කීපයකට පෙරය.

ඊශ්‍රායල විද්‍යාඥයන් ටාර්ඩිග්‍රෙට් ජීවීන් යැවීම කර ඇත්තේ ජලය නොමැතිව උන් නිද්‍රාගත තත්ත්වයට පත් කරමිනි. ‘බෙරෙෂීත්’ යානය සඳට කඩා වැටෙද්දී, ටාර්ඩිග්‍රෙට් රංචුව ද සඳුගේ පස් අතරට එක් වන්න ඇතැයි විද්‍යාඥයෝ පවසති. එය එක්තරා ආකාරයක ගැටලුවකි. සඳේ ජලය නොමැති අතර, ජල අංශු ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කරනු ලැබ ඇත. යම් හෙයකින් ටාර්ඩිග්‍රෙට් රංචුව, උන්ගේ නිද්‍රාගත තත්ත්වයෙන් අවදි වුවහොත්, සඳ ඔවුන්ගේ නව නිවහන වනු ඇත. පෘථිවියේ දී මෙන් නොව සඳ මතුපිටදී ඔවුන් වෙනස් ආකාරයකට හැඳී වැඩෙනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS