ඔපචුනිටිගේ සමුගැනීම



අඟහරු වෙත මිනිසුන් යැවීමට පෙරමඟ සකස්කිරීමක් ලෙස ගවේෂණ යානා අඟහරු ගවේෂණයේ යෙදෙයි. අඟහරුගේ රහස් අනාවරණය කර ගැනීමට, ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය අඟහරු මතට යැවූ එක් රෝවර් යානයක් වූයේ ‘ඔපචුනිටි’ රොබෝ රෝවර් යානයයි.

2004 වසරේ සිට පසුගිය 2018 තෙක් පෘථිවි විද්‍යාඥයන්ගෙන් ලැබුණු උපදෙස් අනුව, කුඩා රෝදවලින් අඟහරු මතුපිට එහෙමෙහෙ යමින්, අඟහරු පස් සාම්පල රැස් කර අධ්‍යයනය කරමින් සහ අඟහරු මතුපිට ඡායාරූප ලබා ගනිමින් ඒවා ආපසු පෘථිවියට ලැබෙන්න සලස්වමින්, ඔපචුනිටි රොබෝ රෝවරය කළ මෙහෙවර සුළුපටු එකක් නොවේ.

මීට පෙර දැන නොසිටි අඟහරුගේ රහස් බොහොමයක් අනාවරණය කර දුන්නේ ද ‘ඔපචුනිටි’ රෝවර් යානයයි. ඉතාමත් ඈත අතීතයේ අඟහරු මතුපිට ගපා යන දිය පහරවල් තිබුණු බවට සාක්ෂි සොයා ගත්තේ ද ‘ඔපචුනිටි’ ය. පසුගිය 13 වැනිදා, නාසා ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ‘ඔපචුනිටි’ රොබෝ රෝවරයේ මෙහෙයුම් කටයුතු අවසන් බවය. නාසා ආයතනයේ මෙහෙයුම් ප්‍රධානීන්, මාධය හමුවේ මෙසේ කියා සිටියේ රෝවර් යානයට අකරතැබ්බක් සිදුවී, අක්‍රියවීම නිසාය. එසේ අක්‍රිය වූ රොබෝ රෝවරය ‘මියගිය’ බව නාසා විද්‍යාඥයන් පැවැසුවේ ඉතා හැඟීම්බරවය.

මීට මාස 8 කට පෙර, ඔපචුනිටි රෝවරය සහ නාසා විද්‍යාඥයන් අතර පැවැති සබඳතා හිටිහැටියේ බිඳ වැටුණි. ඒ, සූර්ය බලයෙන් පණ ගැන්වී තිබුණු රොබෝ රෝවර් යානය, බිහිසුණු ආකාරයේ වැලි කුණාටුවකට මැදිවීමෙන් පසුවය. වැලි කුණාටුව හේතුවෙන් මුළු අඟහරු ග්‍රහයා දින ගණනාවක් අඳුරේ ගිලී ගියේය. හිරු එළිය අඟහරු මතුපිටට වැටුණේ නැත. එහෙයින්, ‘ඔපචුනිටි’ රෝවරයට පණ ගැන්වීමට අවශ්‍ය සූර්ය බලය ලැබුණේ ද නැත. වැලි කුණාටුව පහව යෑමෙන් පසු, නාසා විද්‍යාඥයෝ  යළි රෝවරය පණ ගැන්වීමක් කර එහය සමඟ සම්බන්ධ වීමට උත්සහ ගත්හ.

ඔවුන් පසුගිය මාස 8 පුරා එම උත්සාහය අත් හැරියේ නැත. කෙසේ නමුත් තවත් උත්සාහ කිරීමෙන් පලක් නැති බවත්, යානය අක්‍රිය වී ගොස් ඇති බවත් යළි පණ ගැන්විය නොහැකි බවත් අවසානයේ ඔවුන්ට වැටහිණි. “වැලි කුණාටුවෙන් පස්සේ ‘ඔපී’ (ඔපචුනිටි රෝවරය) සමඟ සම්බන්ධ වෙන්න අප උත්සාහ කළා. අපි හැකි සෑම දෙයක්ම කළා. ඒත් ‘ඔපී’ගෙන් පිළිතුරක් නැහැ. එයා යළි අවදි වුණේ නැහැ.’ යැයි නාසා ආයතනයේ අඟහරු ගවේෂණ යානා ව්‍යාපෘතිය බාරව කටයුතු කරන්නේ ජෝන් කැලාස් පැවැසීය. ‘නාසා අඟහරු ගවේෂණයට යැවූ ඔපචුනිටි යානය සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කළා.’ යැයි කැලිෆෝනියාවේ පැසඬේනා හි අඟහරු මෙහෙයුම් මූලස්ථානයේ සිට නාසා මෙහෙයුම් ප්‍රධානී තෝමාස් සුර්බුෂෙන් මාධ්‍ය හමුවේ නිවේදනය කළ අතර, එම නිවේදනයත් සමඟ ඔපචුනිටි යානයේ සියලු කටයුතු මුලුමනින්ම අවසන් විය.

ඔපචුනිටි රොබෝ රෝවර් යානය වාර්තාවකට ද හිමිකම් කියයි. ගිනස් වාර්තා අතරට ද එක් වී ඇත. මිනිසා විසින් නිර්මාණය කළ රෝවර් යානාවක්, පෘථිවියෙන් පිට ලොවක වැඩිම දුරක් ගමන් කිරිමේ වාර්තාවට හිමිකම් කියන්නේ ද ‘ඔපචුනිටි’ ය. රෝවර් යානය මෙම වාර්තාව පිහිටුවූයේ 2014 වසරේ ජූලි 28 වැනිදාය. ඒ කිලෝ මීටර් 40 (සැතපුම් 25) ක් දුර ගෙවා දැමීමෙන් පසුවය. මීට පෙර රෝවර් යානයක් වැඩිම දුර ගියේ සඳ මතුපිටය. එම දුර කිලෝ මිටර් 39 කි.

එම රෝවරය 1973 දී, සෝවියට් රුසියාව සඳ ගවේෂණයට යැවූ ‘ලූනොකොඞ් 2’ රෝවරයයි. ‘ඔපචුනිටි’ යානය 2015 මාර්තු 24 වැනිදා අඟහරු මතට ගොඩබෑමෙන් පසු, අඟහරු මතුපිට කිලෝ මීටර් 42,195 ක දුරක් ගෙවා ඇත. එය ද වාර්තාවකි. කිසිම රෝවරයක් එතරම් දුරක් ගමන් කර නැති බව ද නාසා ආයතනය පෙන්වා දෙන්නේ මහත් ආඩම්බරයෙනි.

අඟහරු මතුපිට ගමන් කරමින්, අඟහරුගේ රහස් අපට අනාවරණය කර දෙමින්, ඔපචුනිටි රොබෝ රෝවර් යානය කළ මෙහෙවර ඇගයීමට ද නාසා ආයතනය පිරවර ගෙන ඇත. ඒ, යානය සිහිගන්වමින්, විශ්වයේ ඇදී යන ග්‍රහකයක් ‘ඔපචුනිටි’ යනුවෙන් නම් කරමිනි. නිල වශයෙන් ග්‍රහකයේ නම ‘39382 ඔපචුනිටි’ ය. මේ ග්‍රහකය මුලින් සොයා ගැනීම කළේ තාරකා විද්‍යාඥ ටොම් ගෙරල්ස්, නෙදර්ලන්ත ජාතික තාරකා විද්‍යාඥ යුවලක වන කොර්නේලිස් ජොහැන්ස් වොන් හොවුටන් සහ ඔබිරිඳ ඉන්ග්‍රිඞ් වොන් හොවුටන් ය. ග්‍රහකය ඔපචුනිටි යනුවෙන් නම් කරමු යැයි යෝජනා කර ඇත්තේ ඉන්ග්‍රිඞ් ය. ග්‍රහකය මුලින්ම සොයා ගැණුනේ 1960 වසරේ සැප්තැම්බර් 24 වැනිදාය. ‘ඔපචුනිටි’ ලෙස එය නම් කෙරුණේ පසුගියදාය.

‘මාර්ස් එක්ස්පොරේෂන් රෝවර් බී’ යනුවෙන් මෙන්ම, ‘ඔපී’ නමැති කෙටි නාමයෙන් ද හැඳින්වූ ‘ඔපචුනිටි’ අඟහරු වෙත යැවීම සිදුවූයේ 2003 ජූලි 7 වැනිදාය. ඒ, නාසා අඟහරු ගවේෂණ වැඩසටහන යටතේය. ඔපචුනිටි යානය අඟහරු බලා යැවුණේ තනිවම නොවේ. තවත් රෝවර් යානයක් ඔපචුනිටි සමඟ අඟහරු යැවීමට නාසා කටයුතු කළේය. මේ යානය ‘ස්පිරිට්’ ලෙස නම් කෙරුණි. ‘මාර්ස් එක්ස්පොරේෂන් රෝවර් ඒ ලෙස මෙම ‘ස්පිරිට්’ රෝවර් යානය හැඳින්විය. ‘ස්පිරිට්’ අඟහරු මතට පතිත කරනු ලැබුවේ ‘ඔපචුනිටි’ යානයට සති තුනකට කලින්ය. ‘ස්පිරිට්’ 2010 දී අක්‍රිය කර දැමීමට විද්‍යාඥයෝ පියවර ගත්හ. ඊට හේතු වූයේ ඊට වසරකට පෙර 2009 දී ‘ස්පිරිට්’ යානය එක තැන සිරවුණු නිසාය. ‘ඔපචුනිටි’ යානය සහ ‘ස්පිරිට්’ යානා අඟහරු මත ගොඩ බෑමට සලස්වා තිබුණේ අඟහරු ග්‍රහලොවේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්ථාන දෙකකය. ‘ඔපචුනිටි’ රෝවරය ගොඩබෑම සිදුවූයේ විද්‍යාඥයන් විසින් ‘මෙරිඩියානි ප්ලානම්’ නමින් නම් කර ඇති ස්ථානයටය. ඒ, 2004 ජනවාරි 25 වැනිදාය.

‘ඔපචුනිටි’ රෝවරය වැලි කුණාටුවට හසුවූයේ 2018 ජූනි 12 වැනිදාය. වැලි කුණාටුව සමඟ යානය ‘නිද්‍රාගත’ තත්ත්වයකට පත් විය.  වැලි කුණාටුව හේතුවෙන් සූර්යා ලෝකය අඟහරු මතටපතිත වීම වැළැකී යන බව විද්‍යාඥයන් විසින් අවබෝධ කරගනු ලැබ තිබුණි. කුණාටුව පහව යෑමෙන් පසු, යානය යළි අවදි කිරීමට නාසා විද්‍යාඥයන් ඔවුන් දන්නා හැමදේම කර නමුත් ඒවා අසාර්ථක විය. ‘ඔපචුනිටි’ සහ ‘ස්පිරිට්’ යානා නිර්මාණය කර තිබුණේ දින 90 ක මෙහෙයුමක් සඳහා පමණය. කෙසේ නමුත් ඒවා නිර්මාණය කළ තාක්ෂණ ශිල්පීන් සහ විද්‍යාඥයන් මවිතයට පත් කරමින්, යානා දෙක වසර ගණනාවක් උපරිමයෙන් ක්‍රියාත්මක විය.

ඔපචුනිටි යානයේ මෙහෙයුම් අවසන් වීමෙන් පසු අද අඟහරු මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණයේ යෙදෙන්නේ නාසා ආයතනයේ එක් රෝවර් යානයක් පමණි. මේ රොබෝ රෝවර් යානය ‘කියුරියෝසිටි’ (කුතුහලයා) ය. 2012 දී අඟහරු මතට පතිත කළ කුතුහලයාගේ විශේෂත්වයකි. මේ යානය සූර්ය බලයෙන් පණ ගැන්වී නැත. යානය පණ ගැන්වෙන්නේ කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකිනි. එහෙයින්, වැලි කුණාටුවලින් මේ යානයට ගැටලුවක් නොවෙයි. යානය තවත් වසර ගණනාවක් හොඳින් ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.

විශ්වයේ ඈතට යමින්, විශ්වයේ ග්‍රහක, වල්ගාතරු ආදියේ රහස් සොයන ගවේෂණ යානා වර්ග කිහිපයකි. ‘ෆ්ලයිබයි’, (අසලින් යන්නන්), ‘ඕබිටර්ස්’ (කක්ෂීය ගවේෂකයන්), ‘ලෑන්ඩර්ස්’ (පතිත කරවන යානා) සහ ‘රෝවර්’ (මතුපිට ගමන් කරන යානා) ආදී වශයෙන් ඒවා වර්ග කළ හැකිය. නාසා ආයතනය අඟහරු ගවේෂණයට ‘ඕබිටර්’, ‘ලෑන්ඩර්ස්’ සහ ‘රෝවර්’ යානා ද යානා ඇත.

රෝවර් යානා සහ පතිත කරවන යානා සාර්ථකව අඟහරු මතුපිටට යැවීමට සමත් වී ඇත්තේ ද නාසා පමණය. ‘මාවෙන්’, ‘මාස් රිකොනසන්ස් ඕබිටර්’, ‘මාර්ස් ඔඩිසි’ ආදිය නාසා ආයතනය අඟහරු කක්ෂයේ රඳවා ඇති යානාය. අඟහරු මතට පතිත කළ නාසා රෝවර් යානා වන්නේ ඔපචුනිටි, කියුරියෝසිටි, ස්පිරිට්, පාත්ෆයින්ඩර් ය.

පසුගිය 2018 වසරේ නොවැම්බර් 26 වැනිදා, අඟහරුගේ කැණීම් සිදුකර පස් සාම්පල පරීක්ෂා කිරීමට නාසා ආයතනය විශේෂ රොබෝ යානයක් අඟහරු මතට ගොඩබැස්සීය. ඒ යානය ‘ඉන්සයිට්’ ය. 2016 වසරේ ඔක්තෝබර් මාසයේ යුරෝපා අභ්‍යවකාශ ආයතනය ‘ස්කිපරෙල්ලි’ යනුවෙන් පතිත කරවන ගවේෂණ යානයක් අඟහරු මතුපිටට යැවීය. එය සාර්ථක නොවුණු අතර ‘ස්කිපරෙල්ලි’ අඟහරු මතට කඩා වැටුණේය. ඉන්දීය අභ්‍යවකාශ ආයතනය අඟහරු ගවේෂණයට කක්ෂීය යානයක් යවා ඇත. එම යානය සාර්ථකව අඟහරුගේ කක්ෂයට ඇතුළු වූයේ 2014 වසරේදීය.

2021 දී යුරෝපා අභ්‍යවකාශ ආයතනය අඟහරු මතුපිටට ගවේෂණ යානයක් යැවීමට සූදානමින් සිටී. රුසියාව ද මෙම මෙහෙුමට සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි. මේ රොබෝ රෝවර් යානය ‘රොසලින්ඞ් ෆ්රැන්ක්ලිං’ ලෙස නම් කර ඇතැයි ද පැවැසෙයි. ‘රොසලින්ඞ් ෆ්රැන්ක්ලිං’ යනු ඉංග්‍රීසි ජාතික රසායන භෞතික විද්‍යාඥවරියකි.  

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS