අපි‍්‍රකාව හරහා ආ ආක‍්‍රමණය



සොබොදහමේ අරුමය කියා දෙන බීබීසී නාළිකාවේ 'ප්ලැනට් අර්ත්' වාර්තාමය වැඩසටහන් මාලාවේ වනජීවී කැමරා ශිල්පී රොබ් ඩෘවෙට්, නිෂ්පාදක එඩ් චාල්ස් සහ සහායක ටොබී නෝලන්, ඒ වනවිට සිටියේ මැඩගස්කරයේ ක‍ටු පදුරුවලින් පිරුණු වියලි වන්නාතර පෙදෙසකය.

භූමිය පුරා තැනින් තැන වූයේ කටු පදුරුය. ඒ, ශුෂ්ක පරිසරයේ ජීවත් වන කටුස්සන් සහ කුහුඹුවන්ගේ ජීවන රටාව රූගත කිරීම 'ප්ලැනට් අර්ත්' කණ්ඩායමේ අරමුණ විය.රොබ් සහ චාල්ස් කැමරාව අටවමින් සිටිද්දී ටොබී ට ඈත අහසේ යමක් දකින්න ලැබුණි. අහස පැහැදිලි වූ අතර වලාකුළුවලින් තොරය. ටොබී දුටුවේ අඳුරු වලාවකි. එය වැහි වලාකුළක්ද? දුම් වලාවක්ද?

'රොබ්, චාල්ස් අර බලන්න. අර මොකක්ද?' ඈත අහසේ දිස්වුණු එම වලාකුළ වේගයෙන් ඔවුන් සිටි දෙසට ඇදෙන්න විය. 'මොකක්ද ඒ ? වලාකුළක් නම් නෙවෙයි. ඒක එන්නේ අපේ දිහාවට.' චාල්ස් පැවැසුවේ පුදුමයෙනි. 'ඒකට පණ තියෙනවා. ඒක වලාකුළක් නොවෙයි. පතංගයෝ රංචුවක්.පතංගයෝ බිලියන ගණනක් !!' රොබ් ට කෑ ගැසිණි. සැණින් ඔවුන් සිටි භූමි ප්‍රදේශය මුළුමනින්ම පතංගයන්ගෙන් වැසී ගියේය. පතංගයෝ ඔවුන්ට හසුවන සියල්ල කා දමන්න වූහ. කොළයක් වත් ඉතිරි වූයේ නැත.

'ප්ලැනට් අර්ත්' කණ්ඩායමට දකින්න ලැබුණේ 'කාන්තාර පතංගයන්' (කාන්තාර පළඟැටියන්) රංචුවකි.කණ්ඩායම මේ පතංග වසංගතය ගැන වැඩිදුර තොරතුරු ‍සොයන්න පටන් ගත්තේ ඉන්පසුවය. ඒ, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීන් ද සමඟ එක් වෙමින්. මැඩගස්කරය අප්‍රිකා මහද්වීපය අසලින් පිහිටි කුඩා දූපත් රාජ්‍යයකි. ජෛව විවිධත්වයෙන් බහුලය. පතංගයන්ගෙන් වගාබිම්වලට සිදුවන හානිය අතිමහත්ය. ඇතැම්විට බොන්න දිය පොදක් නැති අප්‍රිකා රටවල වැසියන්, ඉතා අමාරුවෙන් කුස ගින්න නිවා ගන්නා බෝග සියල්ල මෙම පලිබෝධකයාගේ ආහාරය වෙයි. එක් පතංග රංචුවක පතංගයෝ බිලියන ගණනකි. පතංගයන්ගෙන් අප්‍රිකා රටවල වගාබිම් ආරක්ෂා කිරීමේ අසීරු කටයුත්තට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේනිලධාරීහු සම්බන්ධ වී සිටිති.එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේනිලධාරීන්ට අයත් හෙලිකොප්ටරයේ නැග 'ප්ලැනට් අර්ත්' කණ්ඩායම, පතංග රංචුව පියඹා යන අයුරු රූගත කළේය. බිලියන ගණනක පතංගයන් පියඹා තැනින් තැනට යමින් වගා හානි සිදු කරන ආකාරය පළමු වරට කැමරාවක සටහන් වූයේ ඒ අනුවය.

පළඟැටියා, පලා ගිරවා ආදී නම්වලින් ද හැඳින්වෙන පතංගයා තණකොළ පෙත්තෙකි. එහෙත්, අප ගෙවත්තේ දකින්න ලැබෙන තැනින් තැනට පනින තණකොළ පෙත්තන් මෙන් නොව ප්‍රමාණයෙන් විශාලය. පතංගයන් එසේත් නැතිනම් පළඟැටියන් අවධි දෙකක් සහිත ජීවන චක්‍රයක් ඇති කෘමියෙකි. පළමු අවධියේ දී පැන පැන යමින් ආහාර අනුභවය සිදු කරයි. දෙවැනි අවධියේ දී මොවුන්ට තටු ලැබෙයි. ඒ අනුව ගුවන්ගත වෙමින් රටින් රටට, මහද්වීපයෙන් මහද්වීපයට පියඹා යයි. කාන්තාර පළඟැටියන්සිදු කරන වගා හානිය සුළුපටු නොවෙයි. 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස වසංගතය ලොව කැලඹීම ඇරැඹුණේ පසුගිය දෙසැම්බරයේය. ඒ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. එම වසංගතයට පෙර, බටහිර අප්‍රිකානු රටවලින් පළඟැටි ආක්‍රමණයක් ආරම්භ විය. එම ආක්‍රමණය ඉන්පසු දකුණු ආසියාවට පැතිර ගියේය. වසර 25 කට පසු මෙම රටවල් මුහුණ දුන් දරුණුතම පළඟැටි ආක්‍රමණය එසේත් නැතිනම් පළඟැටි වසංගතය මෙයයි.

කාන්තාර පළඟැටියා යනු හුදෙකලාව ජීවත් වන කෘමි විශේෂයකි. නිහඬ‍‍ දිවියක් ගත කරයි. කෙසේ නමුත් අද පෘථිවිය මුළුමනින්ම උඩු යටිකුරු වී ඇත. එය අපට දැනෙන්න වූයේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි. පෘථිවිය දේශගුණික සහ කාලගුණික පෙරැළිවලට ලක් වී ඇත. ඒ, මිනිස් ක්‍රියාකාරමක් හේතුවෙනි. විපරිත දේශගුණයෙන් අප බැට කයි. ශීත ප්‍රදේශ දැඩි උණුසුමකින් ද උණුසුම් ප්‍රදේශ දැඩි ශීතලකින් ද බැටකයි. ‍සීමාවක් නොමැතිව ඇද හැලෙන මහ වැසි, පාලනය කළ නොහැකි අයුරින් බුරබුරා නැගෙන ළැව් ගිනි මේ සියල්ල විපරිත දේශගුණයේ ප්‍රතිඵලය. එම දේශගුණික පෙරැළි 'කොවිඩ් 19' වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමට ද හේතුවක් වී ඇති බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. විපරිත දේශගුණික පෙරැළි නිර්මාණය වන්නේ ද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.

නිහඬ‍‍ දිවියක් ගත කරන කාන්තාර පළඟැටියන්ගේ ජීවන චක්‍රයට කාළගුණ පෙරැළි හරස් විය. වසර 25 කට පසුපළඟැටි ආක්‍රමණයක් ආරම්භ වූයේ ඒ අනුව යැයි සත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කාන්තාර පළඟැටියන්කලහකාරී කොල්ලකරුවන් පිරිසක් බවට පත් විය. බිලියන ගණනින් පියඹාවිත් වගාහානි කිරීමට පටන් ගත්තේය. බිලියන 10 ක රංචුවක් දිනකට කිලෝ මීටර් 200 කට වැඩි දුරක් පියඹා යයි. ඒ අතරමග හමුවන සියලු දේ විනාශ කරමිනි. ආහාරයට ගත හැකි ඕනෑම දෙයක් පළඟැටියන්ගේ කුසට යයි. ඒ අනුව, පළඟැටියන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය දිගින් දිගය නොකඩවා සිදුවෙයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන අන්දමට,එක් පළඟැටිරංචුවක් පමණක්, වසරකට පුද්ගලයන් 2500ක් පෝෂණය කිරීමට හැකි තරමේ ‍බෝග විනාශ කරයි.

2019 වසරේ ආරම්භ වී තවමත් අවසානයක් දකින්න නොලැබෙන පළඟැටි ආක්‍රමණයෙන් මේ වනවිට බැට කන්නේ ඉන්දියාවය. පළඟැටි ආක්‍රමණය ඇරැඹුණේ, බටහිර අප්‍රිකාව, අරාබි අර්ධද්වීපය කේන්ද්‍රකොට ගනිමිනි. එය දකුණුදිග ආසියාව දක්වා ව්‍යාප්ත වූයේ ඉන්පසුවය. කෙන්යාව මෙවැනි පළඟැටි ආක්‍රමණයකට මුහුණ දුන්නේ වසර 70 කට පසුවය. ඉතියෝපියාව, සෝමාලියාව සහ අවසන් වශයෙන් ඉන්දියාව මෙවැනි පළඟැටි ආක්‍රමණයකට මුහුණ දුන්නේ වසර 25 කට පමණ පසුවය. 

2019 වසරේ ‍පළඟැටි ආක්‍රමණ ආරම්භය සිදුවූයේ අරාබි අර්ධද්වීපයේ 'රුබ් අල් කාලී' ප්‍රදේශයට ඇද හැලුණු මහ වැසි සමගය. 2019 ජූනි මාසය වෙද්දී, උතුරු ඉරානයට සහ පාකිස්තානයට ආක්‍රමණය ව්‍යාප්ත විය. ඒ වනවිට ඉතියෝපියාව, එරිත්‍රියාව, සෝමාලියාව, කෙන්යාව, සෞදි අරාබිය, යේමනය, ඊජිප්තුව, ඕමානය  පළඟැටි ආක්‍රමණයට ලක් වී තිබුණි. මෙම රටවල් 'කොවිඩ් 19' කොරෝනා වයිරස වසංගතයට මුහුණ දුන්නේ  ‍පළඟැටි ආක්‍රමණයෙන් වගාබිම්  විනාශ වී ආහාර සැපැයුම අඩපණ වී ඇති අවස්ථාවකය. ඒ අනුව, මෙම රටවල් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දුන්නේය.

'කොවිඩ් 19'  වසංගතය අතරතුරේ  පළගැටි ආක්‍රමණය එල්ල වූයේ බටහිර සහ මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තවලට ය. පළගැටියන් නිසා මේ වනවිට හෙක්ටයාර් 50,000 ක වගාබිම් ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බව පැවැසෙයි. දශක තුනකට පසු ඉන්දියාව මුහුණ දුන් දරුණුතම පළගැටි උවදුර මෙය යැයි පෙන්වා දෙන කෘෂිකර්ම බලධාරීහු පළගැටියන් ගැවසෙන ස්ථාන සොයා කෘමිනාශක ඉසීමට නියමුවන් රහිත ‍ඩ්‍රෝන යානා යොදා ගන්නා ගනිති. කෙසේ නමුත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවත් බිලියන ගණනක් පළගැටියන් විනාශ කළ නොහැකි බවත් කෘෂිකර්ම බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

පළගැටියන්ගේ මෙම අක්‍රමණවලට ලක් වී ඇත්තේ රාජස්ථානය සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයයි. 'වර්ග කිලෝමීටරයක ප්‍රමාණයකට පැතිරුණු පළගැටි රංචු 8 ක් හෝ 10 ක් එකවරම වගාබිම්වලට කඩා වදිනවා. කෘමි නාශක දියර ඉසීමෙන් පමණක් උන් මර්දනය කරන්න බැහැ' යැයි පළගැටි උවදුරු මැඩලීමේ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එල්. ගුර්ජාර් පැහැදිලි කළේය. ඉන්දියාව මීට පෙර මේ අයුරින් දරුණු ආකාරයේ පළගැටි උවදුරකට මුහුණ දී ඇත්තේ 1993 වසරේදීය. ඉන්දියාවට දැන් පැමිණ සිටින එක් පළගැටි රංචුවකට පළගැටියෝ මිලියන 40 ක් සිටින බවත් පැවැසෙයි. මෙම පළගැටියන් ඉන්දියාවේ රාජස්ථානයට සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට පියාඹා පැමිණ ඇත්තේ අසල්වැසි පාකිස්තානයේ සිටය.

2019-20 ආක්‍රමණයට පෙර, එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2003-05 දී ද පළගැටි ආක්‍රමණයක් සිදුවිය. වගාහානිවලින් සිදුවුණු අලාභය ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 කි. 2019-20 ආක්‍රමණවේ දී සිදුවුණු හානිය මෙතෙක් තක්සේරු කර නැත.සමස්තයක් ලෙස ගත් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර ඇත්තේ කාන්තාර පළඟැටියන් පෘථිවි වාසීන්‍ 10 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ජීවනෝපායට බලපාන බවය.ඒ අනුව, ලෝකයේ භයානකම සංක්‍රමණික පළිබෝධකයා වන්නේ කාන්තාර පළගැටියාය.කපු, තිරිඟු, බඩ ඉරිඟු සහ වෙනත් භෝග පමණක් නොව කපු වගාවන් පවා පළගැටියන්ගේ ආක‍්‍රමණයට ගොදුරු වෙයි.

බීබීසී වාර්තා ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS