අඟහරු මතුපිට ඉග්ලූ නිවාස



ලෝ සුපතල නැෂනල් ජියෝග්‍රැෆි විද්‍යා නාලිකාව නිෂ්පාදනය කළ ‘මාර්ස්’ (අඟහරු) නමැති වාර්තා වැඩසටහන් මාලාව ලොව කාගේත් අවදානයට ලක් වී අවසන්.

රතු ග්‍රහයා ලෙසින් ද හැඳින්වෙන අඟහරු බලා යන සහ අඟහරු මතුපිට ජීවිතයක් ආරම්භ කරන පෘථිවි ගගනාමීන් කණ්ඩායමක් වටා කොටස් කිහිපයකින් සමන්විත මෙම වාර්තා වැඩසටහන ගෙතී පවතී.

අඟහරු මතුපිට වාසයට සුදුසු නිවසක් ලෙස එස්කිමෝවරුන්ගේ ඉග්ලූ නිවාසයක් ද මෙම වැඩසටහන හරහා අපට දකින්න ලැබෙන අතර අනාගතයේ දිනෙක මිනිසා අඟහරු තරණය කළොත්, මෙවැනි ඉග්ලූ නිවාස යථාර්ථයක් වනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අඟහරු ගවේෂණ මෙහෙයුම් රැසකින් පසු, අඟහරු මතුපිට කෙසේද යන්න ගැනත්, මතුපිට පරිසරය කෙබඳු ද යන්නත් පෘථිවි විද්‍යාඥයන්ට දැනගැනීමට හැකි වී තිබේ. ඒ අනුව, ඊට සමානව පෘථිවි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙවැනිම ‘අඟහරු ඉග්ලූවක්’ ලන්ඩනයේ දී ඉදි කිරීමට බව විද්‍යාඥයෝ කටයුතු කළහ.

එම ඉග්ලූව සය දිනක කාලයක් ලන්ඩනයේ ග්‍රීන්විච්හි තාරකා නිරීක්ෂණාගාරයේදී ප්‍රදර්ශනයට තැබුණි. ග්‍රීන්විච් රාජකීය තාරකා විද්‍යාඥයන් සහ එම සංගමයත්, ස්ටීපන් පෙට්රැනෙක් ද මේ සඳහා මැදිහත් වී කටයුතු කළේය. ස්ටීපන් පෙට්රැනෙක් යනු අඟහරු මතුපිට පෘථිවිවාසීන්ගේ ජීවිතය යන තේමාව යටතේ විද්‍යා ප්‍රබන්ධ රැසක් ලියූ අයෙකි.

ඉග්ලූවේ ඉදිකිරීම් පැවැරුණේ කාඩිෆ් ඉදිකිරීම් සමාගමේ ඉදිකිරීම් සේවකයන්ට සහ ඉන්ජිනේරුවන්ටය. ඔවුහු අඟහරු මතුපිට පාෂාණවලට සමාන පාෂාණ පමණක් නොව, අභ්‍යවකාශ යානා කොටස් ද ඉග්ලූව ඉදිකිරීම යොදා ගත්හ. ඉග්ලූව ඉදිකිරීමට යොදා ගන්නා අඟහරු පස් හැඳින්වෙන්නේ ‘රෙගොලිත්’ යන නමිනි. ඇතුළත ඔක්සිජන් පිටතට නොයන අයුරින් හා පිටත විස වායු ඇතුළට නොපැමිණෙන අයුරින් දොරක් ද ඊට සම්බන්ධ කළහ.

අඟහරු මතුපිට විටෙක අධික උණුසුමක් පමණක් නොව විටෙක අධික තාපයක් පවතී. එය කිසිසේත්ම මිනිස් වාසයට සුදුසු නැති බව විද්‍යාඥයන් පවසන අතර, මිනිස් වාසයට සුදුසු තැනක් ලෙස එය පරිවර්තනය කර ගැනීම විද්‍යාඥයන්ගේ අපේක්ෂාවය. අධික සීතලෙන් ආරක්ෂා වීමට සූර්ය පැනල සහ සූර්ය බැටරියෙන් ක්‍රියාත්මක ‘හීටර්’ භාවිතා කෙරේ. අධික රස්නයෙන් මිදීමට වායු සමීකරණ භාවිතා කෙරේ.

මෙම ඉග්ලූව අඟහරු මත ඉදි කෙරෙන්නේ නම්, ඊට සුදුසු ස්ථානය ලෙස විද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ අඟහරුගේ සමක රේඛාවේ පිහිටා ඇති කිලෝ මීටර් 4,000 ක් දිග සහ කිලෝ මීටර් 100 ක් පළල කැයියොන් පද්ධතියේ ‘වැලෙස් මැරිනේරියස්’ නමැති තැනිතලා භූමියයි. ලන්ඩන් නුවර ඉදිකළ ‘ඉග්ලූ අනුරුව’ මෙන් අඟහරු මතුපිට අනාගතයේ ඉදිවන මෙම ඉග්ලූවේ බිත්ති අඩි 10 ක් ඝණකමින් යුක්ත වෙයි. ඒ, අඟහරුගේ කර්කෂ පරිසරයට නොසැලී ඔරොත්තු දීම සඳහාය. මෙවැනි ඉග්ලූ පිරි පුංචි ගම්මානය පළමු ‘අඟහරු කොලනිය’ (අඟහරු ගම්මානය) බවට පත් වනු ඇතැයි විශ්වාස කෙරේ. විද්‍යාඥයන් මෙම අඟහරු ගම්මානය නම් කර ඇත්තේ ‘ඔලිම්පස්’ යන නිමිනි.

එස්කිමෝවරුන්ගේ ඉග්ලූව ඔවුන්ගේ නිවහනය. ඔවුන්ට සීතලෙන් බේරී උණුසුම් වී, වියලී සිටින්න ඉග්ලූව උපකාරී වෙයි. මෙය ඉග්ලූ යනුවෙන් නම් කර ඇත්තේ ‘අයිස් නිවස’ යන අර්ථයෙනි. සාමාන්‍ය එස්කිමෝ පවුලකට අයත් ඉග්ලූවට පිවිසීමට සහ පිටවීමට ඇත්තේ උමං කටකි. ඇතැම් ඉග්ලූවල එක් ජනේලයක් ඉදිකර තිබේ.

අයිස් තට්ටු අතරේ සීල් මසුන් දඬයමේ යන ඉස්කිමෝ දඩයක්කරුවන්ගේ තාවකාලික නිවාස ලෙස ද ඉග්ලූ සැළකෙයි. මේවා අයිස් කුට්ටි කපා වෙන් කර, එක මත එක තබා, ගෝලාකාර අයුරින් නිර්මාණය කෙරේ. එස්කිමෝවරුන් ඉනුයිට්වරුන් ලෙසින් ද හැඳින්වෙයි. ඉග්ලූ යන වදන ඉනියුට් වදනකි. උතුරුදිග කැනඩාවේ, ග්‍රීන්ලන්තයේ ගෝත්‍රිකයන් ද ඉග්ලූ නිවාසවල ජීවත් වන බව පැවැසෙයි. ප්‍රමාණයෙන් විවිධාකාරයේ ඉග්ලූ නිර්මාණය කෙරේ.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS