අඟහරු යන්න හදන කෙල්ල



ලොකු වුණාම කවුරුද වෙන්නේ යැයි පුංචි කාලේ කවුරු හරි අසද්දී, පොඩිත්තන්ගෙන් ලැබෙන්නේ අපූරු විදියේ පිළිතුරුය.

ඇතැමුන් පුංචි කාලයේ දකින සිහින සැබෑ කර ගනිමින් ජීවිතය වෙනස් කරගන්නා අතර, සමහරුන්ට මුළු ජීවිත කාලය ගෙවී ගියත් එම සිහින සැබෑ කර ගැනීමට හැකියාව නොලැබෙයි. එසේ තම කුඩා කළ සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරන ඇමෙරිකන් පාසල් දැරියකි. 17 හැවිරිදි ඇය අලයිසා කාසන්ය. මේ ඇයගේ කතාවයි.

අලයිසා, ඇමෙරිකාවේ ලුසියානා ජනපදයේ හැමොන්ඞ් පදිංචිකාරියකි. වසර 2033 වසර වෙද්දී, අවුරුදු 32 ක යුවතියකි. පළමුවෙන්ම අඟහරු බලා යන ගගනගාමීන් කණ්ඩායම සමඟ එක් වී, ඇය අඟහරු වෙත ගොස් එහි පළමු ජනපදය පිහිටුවීමට දායක වනු ඇත. අඟහරු බලා යන ගමනට තවමත් පෙරමඟ සකස් වෙමින් පවතී. අඟහරු ජය ගැනීම ඇමෙරිකාවේ නාසා ආයතයේ මීළඟ ඓතිහාසික ගගන වික්‍රමය වනු ඇත. එය සිදුවනු ඇත්f් 2033 වසරේ දී යැයි ද පැවැසෙයි.

‘තාත්තා, මට ඕනෑ ගගනගාමිනියක් වෙන්න. අඟහරු යන්න ඕනෑ’ අලයිසාගේ ආසාව වූයේ එයයි. අලයිසා ඇගේ පියාට මෙසේ පවසද්දී ඇගේ වයස අවුරුදු තුනක් වූවා පමණි. අලයිසා කුඩා කළ ආසාවෙන් නැරැඹූ කාටූන් කතාවක් වූයේ ‘බැක්යාඩියන්ස්’ ය. ‘බැක්යාඩියන්ස්’ යනු නිවසක, වත්ත පසුපස සිටින සතුන් එකමුතු වී, වීර චාරිකා යෑමේ කාටූන් කතා මාලාවකි. එක් කතාවක මෙම සතුන් පිරිස අඟහරු බලා යයි. තමන් ගගනගාමියකු වීමට ආසා කළේ මෙම කාටූන් කතාව හරහා යැයි අලයිසා කියයි.

තම සිහින පසුපස යමින් ගගනගාමීන් වීමට ආසාවෙන් සිටින දරු දැරියන්, විශේෂයෙන් දැරියන් උනන්දු කිරීමේ වැඩසටහන් මාලාවකට ද අලයිසා සම්බන්ධ වී සිටින්නීය. ඇය ඇගේම කියා බ්ලොක් පිටුවක් පවත්වාගෙන යයි. සමාජ ජාල ඔස්සේ සෙසු සහෝදර සහෝදරියන් දැනුම්වත් කරයි. විද්‍යා, ගණිත සහ ඉන්ජිනේරු විෂයන් සම්බන්ධයෙන් දක්ෂතා දක්වන සෙසු ගැටවරියන් සහ යුවතියන් ආමන්ත්‍රණය කරමින්, ගගනගාමිනියන් ලෙස අභ්‍යවකාශ ජය ගැනීම ගැන කතාබහ කරයි. සම්මන්ත්‍රණවලට සම්බන්ධ වෙයි. ජීවිතය ජය ගන්නා අයුරු කියා දෙයි. ‘මම කවදත් ආසා කළා ගගනගාමිනියක වෙන්න. ඒ සිහිනය මම සැබෑ කර ගන්නවා. ඊට පස්සේ ආපසු පෘථිවියට ඇවිල්ලා එක්කෝ මම ගුරුවරියක වෙනවා. එහෙම නැතිනම් ඡන්දය ඉල්ලලා ජනාධිපති වෙනවා’ යැයි අලයිසා පවසා ඇත.

නාසා ආයතනයේ ගගනගාමීන් වීමට නම් අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු වෙයි. අලයිසාට නාසා ආයනයට ඇයැදුම්පත් දැමීමට සිදුවනු ඇත්තේ ද 18 සම්පූර්ණ වූ පසුවය. එසේ වුවත් දැනටමත් අලයිසා නාසා ආයතනය සමඟ එක් වී සිටින්නීය. එපමණක් නොව, ඇය පසුගිය වසර කිහිපය පුරාවට ‘පොසම් ව්‍යාපෘතිය’ නමැති ගගනාගාමියකු වීමේ පුහුණු වැඩසටහනට සම්බන්ධ වී සිටියාය. ඒ, අලයිසාගේ පියා ඇයට ඇගේ සිහිනය සැබෑ කර ගන්න මඟ පාදාදීමෙනි.

‘පොසම් ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කරන්නේ එම්බ්‍රි රිඞ්ලි ආකාශ විද්‍යා විශ්ව විද්‍යාලය මගිනි. ෆ්ලොරීඩාවේ ඬේටෝන් බීච්, ඇරිසෝනියාවේ ප්‍රිස්කොට් යන ස්ථානවල මෙම විහ්ව විද්‍යාලයේ පුහුණු පාසල් පිහිටයි. ගගනගාමීන් වීමට උනන්දු පාසල් දරු දැරියන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ගගනගාමීන්ට ලැබෙන පුහුණුව දරු දැරියන්ට ලැබේ. දිය යට සිදු වන පුහුණුවීම් පවා ඊට ඇතුළත් යැයි පැවැසෙයි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS