සෞදි කාන්තාරයේ අපූරු තරගයක්



සෞදි කාන්තාරයේ අපූරු තරගයක් පැවැත්විණි. ඒ, නව මාදිලියේ රේසිං කාර් එකක් සහ ලොව වේගවත්ම සත්වයා අතරේය.

මේ රේසිං කාර් එක විදුලියෙන් ක්‍රියා කරන ඉලෙක්ට්‍රික් කාර් එකකි. එය ලොවට හඳුන්වාදීම තරගයේ අරමුණ විය. රේසිං කාරයේ රියදුරා 38 හැවිරිදි පිලිප් මසා ය. 2002 සිට 2017 තෙක් කාලයේ ජයග්‍රහණ රැසක් වාර්තා කළ මසා විශ්‍රාම යෑමෙන් පසුවත් අලුත් මාදිලියේ රේසිං කාර් ප්‍රවර්ධන කටයුතුවලට සම්බන්ධ වී සිටී. මසා ලොව වේගවත්ම රියදුරන්ගෙන් කෙනකි.

මසාගේ ප්‍රතිවාදියා වූ සත්වයා කුරුල්ලෙකි. ලොව වේගවත්ම කුරුල්ලා වන්නේ ද මේ කුරුල්ලාය. මේ කුරුල්ලා පෙරෙග්‍රීන් ෆැල්කන් නමැති කුරුළුගොයා ය. පෙරෙග්‍රීන් ෆැල්කන් ගොදුරක් අල්ලා ගැනීමට පැයට සැතපුම් 217 ක වේගවකින් පියඹයි.

තරඟය පැවැත්වීමට තෝරා ගත්තේ සෞදියේ කාන්තාර ප්‍රදේශයක වැටී තිබුණු මාර්ගයකි. විදෙස් මාධ්‍යවේදීහු කණ්ඩායමක් පවා තරගය වාර්තා කිරීමට පැමිණ සිටියහ. පෙරෙග්‍රීන් ෆැල්කන් කුරුළුගොයා පැමිණ සිටියේ උගේ සෞදි ජාතික පුහුණුකරු සමඟය. ඉලෙක්ට්‍රික් රේසිං කාරයේ රියදුරු අසුනට පිටුපසින් යකඩ කූරක් සවි කර, එහි ඉහළ කෙළවරේ මස් කැබැල්ලක් ගැට ගසනු ලැබුණි. පෙරෙග්‍රීන් ෆැල්කන්ගේ ඉලක්කය මෙම මස් කැබැල්ල අල්ලා ගැනීමය.

තරගය ඇරැඹිණි. පිලිප් මසා සිය ඉලෙක්ටි්‍රක් රේසිං කාරය පණ ගැන්වීය. පෙරෙග්‍රීන් ෆැල්කන් කුරුළුගොයා මුදා හැරීමට උගේ පුහුණුකරු සූදානම් විය. රේසිං කාරය විදුලි වේගයෙන් ගමන් ඇරැඹීය. ඒ සමඟ පුහුණුකරුගේ අතේ වසා සිටි කුරුළුගොයා ද ක්‍රියාත්මක විය. ඒ, යකඩ කූරේ ඇති මස් කැබැල්ල ඉලක්ක කර ගනිමිනි.

වේගයෙන් ඇදී ගිය රේසිං කාරයට පහසුවෙන් ළං වීමට කුරුළුගොයාට හැකිවිය. කෙසේ නමුත් පිලිප් මසා උත්සාහය අත්හැරියේ නැත ඔහු පුළුවන් උපරිම දස්කම් පෙන්වමින්, මෝටර් රථය ධාවනය කරන්න විය. ඒ, කුරුළුගොයා පරදමිනි.

අවසානයේ ඉලෙක්ට්‍රොනික රේසිං කාරය ජයග්‍රහණය කළේය. පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් කාරයට ප්‍රසිද්ධියක් ද ලැබුණි.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS