සොයුරන්ට සුබ පැතුම්



දහතුන්වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී, තුනෙන් දෙකක බහුතර බලයක් ද සමඟින්, ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ අති විශිෂ්ට ජයක් හිමි කර ගැනීම පමණක් නොව, ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම ද විදෙස් මාධ්‍යවල කැපී පෙනෙන පුවතක් විය.

කොරෝනා වයිරස වසංගතය හමුවේ, ආසියානු රටක, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්  මහ මැතිවරණයක් පැවැත්වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර මැතිවරණයක් පැවැත් වූ ආසියානු රට වන්නේ දකුණු කොරියාවේය. දකුණු කොරියාව කොරෝනා ඉහවහා ගිය රටකි.

මහ මැතිවරණය සම්බන්ධයෙන් දිගින් දිගටම පුවත් වාර්තා කළ පුවත් සේවයක් වන්නේ අල් ජසීරා ය. අල් ජසීරා මාධ්‍ය කණ්ඩායමක් ද මෙරට මහ මැතිවරණය වාර්තා කිරීමට පැමිණ සිටියේය. ‘අල් ජසීරා’ පුවත් නාළිකාව සහ වෙබ් අඩවිය ද ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබුණි. ‘රාජපක්ෂ සොයුරන්ගේ විශිෂ්ට’ ජයග්‍රහණය යන ශීර්ෂපාඨ යටතේ පුවත් පළ විය.

මෙරට මහ මැතිවරණය සම්බන්ධයෙන් දිගින් දිගට පුවත් වාර්තා කළේ ඉන්දීය පුවත් නාළිකා සහ එරට වෙබ් අඩවිය. ‘ද හින්දු’ පුවත්පත, පුවත් වෙබ් අඩවිය ඒ අතරින් කැපී පෙනෙයි. ‘රාජපක්ෂ සොයුරන් අති විශිෂ්ට ජයක් හිමිකර ගනී’ යනුවෙන් ‘ද හින්දු’ පුවත් වෙබ් අඩවියේ පුවත් පළ විය.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පළමුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුවේ දුරකතන ඇමැතුමක් ඔස්සේය. දෙවැනියට සුබ පැතුවේ ට්විටර් පණිවුඩයක් හරහාය. ‘දෙරට අතර පවතින සබඳතා මෙන්ම සහයෝගීතාව, නව මානයන් කරා ගෙන යාමට අපේක්ෂා කරන බව’ එම ට්විටර් පණිවුඩයේ සඳහන් විය. දුරකතන ඇමැතුම දුන් අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතමින් පවසා ඇත්තේ දෙරට අතර දිගු කලක් තිස්සේ පවතින සබඳතා ඉදිරියේ දී තව තවත් ශක්තිමත් වනු ඇති බව යැයි ද ‘හින්දු’ වාර්තා කළේය.

ඇමෙරිකාවේ ප්‍රධාන පුවත් නාළිකා සහ වෙබ් අඩවි කීපයක ද ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය ගැන පුවත් පළ විය. ‘රාජපක්ෂ සොයුරෝ විශිෂ්ට ජයක් ලබති’ යන්න එම පුවත් බොහොමයක සිරස්තලය විය. බීබීසී නාළිකාව සහ වෙබ් අඩවිය පුවත් පළ කළේ ‘රාජපක්ෂට විශිෂ්ට ජයක්’ යනුවෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයකින් පසු ජනාධිපති ධුරයට පත් වී මාස කීපයක් ඇතුළත පැවැති මහ මැතිවරණයෙන්, තුනෙන් දෙකක බලයක් ද සමඟ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වීම ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන සිදුවීමක් බව බීබීසී පුවත් සේවය පෙන්වා දුන්නේය.

කොරෝනා වසංගතයෙන් එල්ල වූ අභියෝග බාධාවක් කර නොගෙන මහමැතිවරණය සාමකාමීව හා ක්‍රමවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් ප්‍රසංශා හිමිවී තිබේ. මේ බව සඳහන් වූයේ  මහ මැතිවරණය පිළිබඳව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් කළ නිවේදනයකය.

‘අගෝස්තු 5 වැනිදා, ශ්‍රී ලංකාවේ වැසියෝ, ඔවුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ. කොරෝනා වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබ පතනු ලැබේ’ යනුවෙන් එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් විය.

‘නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යෑම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් ඉදිරියට ගෙන යනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි’ යනුවෙන් ද ඇමෙරිකා රජය වෙනුවෙන්, කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ පණිවුඩයේ සඳහන් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වන මහින්ද රාජපක්ෂ මහතාගේත් නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය අවධාරණය කර තිබේ.

විදෙස් පුවත් ඇසුරිනි


RECOMMEND POSTS