සුළි කුණාටුව මැද ආ මකරා



උතුරු අත්ලාන්තික් සාගරයේ වර්ධනය වූ ‘ඊසාඊයේස්’ සුළි කුණාටුව ප්‍රචණ්ඩ වේවි යැයි කාලගුණ විද්‍යාඥයන්ට කල් තියා අනතුරු ඇඟවීම් කළ නොහැකි විය.

පසුගිය පළමු වැනිදා පැයට කිලෝ මීටර් 136 කට වැඩි වේගයකින් සුළි කුණාටුව කැරිබියානු දූපත්වලට කඩා වැදුණි. පුවර්ටෝ රීකෝ, ඩොමිනිකන් රිපබ්ලික් යන කැරිබියානු දූපත් පමණක් නොව, කැරිබියානු මුහුදට උතුරු දෙසින් බිහිටි බහාමාස් දූපත් රාජ්‍යය ද සුළි කුණාටුවෙන් බැට කන්න විය.

දෙවැනිදා වන විට සුළි කුණාටුවේ ගමන් මඟ යොමු වී තිබුණේ ඇමෙරිකාවේ අත්ලාන්තික් වෙරළ තීරය දෙසට ය. ෆ්ලොරීඩා ඇතුළු ඇමෙරිකන් ප්‍රාන්ත 19 කට සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

මේ අතර, කිලෝ මිටර් 400 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කර තිබුණු ‘ඩ්‍රැගන්’ (මකරා) ගගන කැප්සියුලය, දින 60 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි නාසා ගගනගාමීන් දෙදෙනා, ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් ආපසු පෘථිවියට රැගෙන ඒමට සූදානම් විය. ‘ඩ්‍රැගන්’ යනු නාසා ඇමෙරිකාවේ නාසා ආයතනය ඔවුන්ගේ ගගන මෙහෙයුම් සඳහා යොදා ගන්නා නවතම ගගන කැප්සියුලයයි.

‘ඩ්‍රැගන්’ නාසා ආයතනයේ නිර්මාණයක් නොවෙයි. එය නිර්මාණය කළේ නාසා ආයතනයේ අධීක්ෂණය යටතේ, ‘ස්පේස් එක්ස්’ සමාගමය. ස්පේස් එක්ස් යනු ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම නව නිපැයුම්කරුවකු ද වන ඉලොන් මස්ක් ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණයට ලක් කිරීමේ අරමුණ ඇතිව පිහිටුවූ සමාගමකි.  ඉලොන් මස්ක් දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇමෙරිකාවට පැමිණ බිලියනපතියකු වූ අයෙකි.

ලොව අංක එකේ විද්‍යුත් මෝටර් රථ සහ බැටරි නිපදවන ටෙස්ලර් සමාගමේ හිමිකරු වන්නේ ද මොහුය. මස්ක්,  කැලිෆෝනියාව කේන්ද්‍රකොට ගනිමින්, ස්පේස් එක්ස් සමාගම ආරම්භ කළේ 2002 දීය. ට්‍රම්ප්ට පෙර, බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, ඇමෙරිකාවේ පෞද්ගලික සමාගම් කිහිපයක් නාසා ආයතනයට සම්බන්ධ කළේය. ‘ස්පේස් එක්ස්‘ සමාගම නාසා ආයතනය සමඟ එක් වූයේ ඒ අනුවය.

ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කළ ප්‍රබල රොකට්ටුවක් වන්නේ ‘ෆෝල්කන් 9’ ය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ඉහළ කොටසේ රැඳවූ ‘ඩ්‍රැගන්’ කැප්සියුලය, නාසා ගගනගාමීන් දෙදෙනා, ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් රැගෙන අභ්‍යවකාශය බලා පිටත්ව ගියේ පසුගිය මැයි 30 වැනිදාය. ගුරුත්ව බලයෙන් මිදී කැප්සියුලය ඉහළට ගෙන යෑම රොකට්ටුවේ අරමුණය. කැප්සියුලය අභ්‍යවකාශයට තල්ලු කිරීමෙන් පසු රොකට්ටුව කොටස්වලට ගැලවී වෙන්වී මූදට වැටෙයි. නාවික හමුදාව එම කොටස් යළි සොයා ගන්නා අතර, ඒවා යළි යළි භාවිතයට ගැනීම සිදුවෙයි.

‘ෆෝල්කන් 9’ රොකට්ටුව ‘ඩ්‍රැගන්’ කැප්සියුලය රැගෙන යෑම සුවිශේෂී සිදුවීමක් විය. ඇමෙරිකාවේ නිෂ්පාදිත රොකට්ටුවක්, ගගන කැප්සියුලක් රැගෙන ඇමෙරිකාවෙන් අභ්‍යවකාශය බලා ගුවන්ගත වූයේ වසර 9 කට පසුවය. සියල්ල හොඳින් සිදුවුණු අතර, ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් ආරක්ෂිතව අභ්‍යවකාශ නැවැතුම්පොළට රැගෙන යෑමට ‘ඩ්‍රැගන්’ සමත් විය.

සඳ ජය ගැනීමෙන් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය, පෘථිවි කක්ෂයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට නායකත්වය දුන්නේය. ඒ, රුසියානු අභ්‍යවනකාශ ආයතනය සහ ලොව සෙසු අභ්‍යවකාශ ආයතන හවුල් කර ගනිමිනි. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමේ දී නාසා ආයතනය පෘථිවි කක්ෂයට ගගනගාමීන් සහ භාණ්ඩ ගෙන ගියේත් ආපසු රැගෙන ආවේත් ෂටල යානා ආධාරයෙනි. ෂටල යානා භාවිතය ඉතා මිල අධික විය.

අභ්‍යවකාශ නැවැතුම්පොළ එකලැස් කිරීමෙන් පසු ෂටල භාවිතයෙන් ඉවත් කෙරුණි. ඒ, 2011 වසරේදීය. එදා සිට මෙම 2020 දක්වා ඇමෙරිකන් නාසා ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේත් ආපසු ආවේත් රුසියානුවන්ගේ සෝයූස් කැප්සියුල සහ රුසියානු රොකට්ටු ආධාරයෙනි. දේශපාලනික වශයෙන් රුසියාව සහ ඇමෙරිකාව අතර මත ගැටුම් පැවැතියත් අභ්‍යවකාශ කටයුතුවලදීත් ගමන් බිමන්වලදීත් දෙරට අතර හොඳ මිත්‍රත්වයක් පවතී.

පසුගිය 1 වැනිදා, ‘ඩ්‍රැගන්’ කැප්සියුලය ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් රැගෙන යළි පෘථිවිය බලා පැමිණීම ආරම්භ කළේය. ‘ඊසාඊයේස්’ සුළි කුණාටුව ගගන කැප්සියුලයේ ගමනට බාධාවක් වේවි යැයි බියක් ඇති විය. නාසා ආයතනය කියා සිටියේ, ගගනගාමීන් දෙදෙනාට අනතුරක් සිදුවීමට කිසිසේත් ඉඩ නොතබන බවය.

ගගන කැප්සියුලයට ගගනගාමීන් දෙදෙනා ගොඩවුණු අවස්ථාවේ පටන් ඒ තුළ දසුන් සජීවීව වෙබ් අඩවි ඔස්සේ විකාශය විය. එම දසුන් ලොව බොහෝ දෙනකු නරඹන්න වූයේ මහත් උනන්දුවකිනි. පෘථිවි වායුගෝලයට පිවිසි යානය පහළට වේගයෙන් ඇදී එද්දී, එහි යෝධ තැඹිලි සහ සුදු පැහැති පැරෂූට් ක්‍රියාත්මක විය. කැප්සියුලය සෙමින් සෙමින් පතිත වූයේ මෙක්සිකෝ බොක්කටය. කැප්සියුලය පැමිණෙන ගමන් මඟ දැන ඇමෙරිකන් හමුදාව අවට මුහුදේ සීරුවෙන් සිටියේය. ඔවුහු වහා කැප්සියුලය වෙත ගොස් ගගනගාමීන් දෙදෙනාත් කැප්සියුලයත් නැවට ගත්හ.

එම සිදුවීම් පෙළ මීට වසර 51 කට පෙර, පළමුවෙන්ම සඳ තරණය කළ ‘ඇපලෝ 11’ මෙහෙයුම අවසානයේ, නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලිස් ඔවුන්ගේ ගගන කැප්සියුලයෙන් ආපසු ආ ගමන සිහිපත් කළේ යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය ගගනගාමීන් රැගෙන උඩු ගුවනට යෑමත්, ආපසු පැමිණීමත් ඇමෙරිකන් අභ්‍යවකාශ වැඩසටහනේ තවත් සංධිස්ථානයකි. ට්විටර් පණිවුඩයකින්, ගගනගාමීන් දෙදෙනා ට සුබ පැතීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අමතක නොකළේය.

නාසා ඇසුරිනි


RECOMMEND POSTS