වූහාන් ‘වයිරස බැංකුව’



ගෝලීය වසංගතයක් වුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපැහැදිලිය. ‘කොවිඞ් 19’ කොරෝනා වයිරස විශේෂයක් බවත්, එය වවුලන්, කබල්ලෑවන් හරහා මනුෂ්‍යයන්ට ආසාදනය වී, දැන් මනුෂ්‍යයන් අතරේ විකෘති වෙමින් පැතිරෙන බවත් පැවැසෙයි.

වයිරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවරිනි. වූහාන් නුවර පිහිටා ඇත්තේ හුබෙයි පළාතේය. වයිරසය ව්‍යාප්තවීම සිදුවුණු වූහාන් මත්ස්‍ය හා සත්ව වෙළෙඳසැලේ සිට සැතපුම් 8 ක් දුරින් පිහිටා ඇත්තේ ‘වයිරසවේදය පිළිබඳ අධ්‍යයන ආයතනය’ යි. චීන රජය යටතේ ක්‍රියාත්මක මෙම ආයතනය පිහිටා ඇත්තේ වූහාන් නගරය ඔබ්බෙන් දියැන්සියැං දිස්ත්‍රික්කයේය. 1956 වසරේ ආරම්භ කළ මෙම විද්‍යා ආයතනයට 2015 දී නව කොටසක් එක් කෙරුණි. එම කොටස ජෛව සංරක්ෂණ රසායනාගාරයකි. ‘ආසියාවේ විශාලතම වයිරස බැංකුව’ ලෙස ද මෙම රසායනාගාරය ප්‍රකටය. වසූරිය, පැපොල, සරම්ප පමණක් නොව, සර්ස්, මර්ස් වැනි කොරෝනා වයිරස වර්ග ද මෙතෙක් නම් දමා නොමැති හඳුනා ගෙන නොමැති කොරෝනා වයිරස සහ වෙනත් වයිරස විෂබීජ ද  මෙම වයිරස බැංකුවේ තැම්පත් කර තිබේ.

ඒ අනුව, ‘කොවිඞ් 19’ වයිරසය වූහාන් නුවරින් ආරම්භ වී එය ගෝලීය වසංගතයක් දක්වා දුරදිග යෑම පසුපස වයිරස බැංකුවේ කිසියම් සම්බන්ධයක් තිබේදැයි සැකයක් පහළ වීම සාධාරණය. ‘කොවිඞ් 19’ වයිරසය එම රසායනාගාරයේ නිර්මාණය කරන ලද්දක් බවත්, අත්වැරැදීමකින් හෝ හිතාමතා හෝ එය සමාජයට මුදා හැරීමක් හෝ කාන්දුවීමක් සිදුවන්න ඇති බවත් ඇමෙරිකන් බුද්ධි අංශ සැක කරයි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සෘජුව චීනයට චෝදනා කරන්නේ ගෝලීය වසංගතයක් වුණු ‘කොවිඞ් 19’ වයිරසයට චීනය වගකිව යුතු බවය. ‘එය අත්වැරදීමකින් සිදුවූවක් නම් චීනයට සමාවක් දෙන්න පුළුවන්. ඒත් චීනය හිතාමතා වයිරසය සමාජයට මුදා හැරියේ නම් එය බරපතල අපරාධයක්. කිසිම සමාවක් දෙන්නේ නැහැ.’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත.

වූහාන් රසායනාගාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් යෝජනා කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ නමුත් වයිරසය ස්වභාවිකව ආ එකක් ද නැතිනම් වූහාන් හි පිහිටි රසායනාගාරයට එය සම්බන්ධදැයි කීමට චීනයට හැකි වී නොමැත. ජර්මනිය, ප්‍රංශය, ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව ද ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ යෝජනාවට සහාය පළ කර තිබේ. යම් හෙයකින් චීනය හිතාමතා වයිරසය සමාජයට මුදා හැරිය බව තහවුරු වුවහොත්, චීනයට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත්, චීනයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 160 කට වඩා වැඩි වන්දි මුදලක් තමන් අපේක්ෂා කරන බවත් ජනපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

මේ අතර පසුගිය වසර 10 ක කාලය තිස්සේ වූහාන් වයිරසවේදය පිළිබඳ අධ්‍යයන ආයතනය සමඟ සබඳතා පවත්වන රුසියානු විද්‍යාඥ මහාචාර්ය පීටර් චුමකෝව්, පසුගිය දා රුසියන් පුවත් සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, කියා සිටියේ වයිරස අධ්‍යයනය පමණක් නොව, මිනිසාට වින කළ හැකි නව වයිරස නිර්මාණය කිරීමට ද වූහාන් වයිරසවේදය පිළිබඳ අධ්‍යයන ආයතනයට පහසුකම් ඇති බවත්, දක්ෂ විද්‍යාඥ කණ්ඩායමක් එහි සේවය කරන බවත් ය. මහාචාර්ය පීටර් චුමකෝව් රුසියාවේ ප්‍රමුඛ පෙළේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකි. මොස්කව් නුවර ක්ෂුද්‍රජීව විද්‍යා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද මොහුය. ‘වූහාන් වයිරසවේදය පිළිබඳ අධ්‍යයන ආයතනය වයිරස පිළිබඳ අධ්‍යයනය කරනවා. නොයෙක් ආකාරයේ අත්හදා බැලීම් සහ පරීක්ෂණ සිදු කරනවා. ඔවුන් හිතාමතා වයිරයක් සමාජයට මුදා හැරියා කියා මා කීයටවත් හිතන්නේ නැහැ. වයිරසය එම ආයතනයෙන් සමාජයට මුදා හැරීමක් සිදුවුණා නම් එය සිදුවුණේ අත්වැරදීමකින් වෙන්න ඕනෑ.’ යැයි මහාචාර්ය පීටර් චුමකෝව් පැහැදිලි කර ඇත.

‘මා හොඳින්ම දන්නා දෙයක් තමයි වූහාන් රසායනාගාරයේ විද්‍යාඥයන් කරන්නේ වයිරස අධ්‍යයනය මිසක් වයිරස නිර්මාණය නොවෙයි. ඔවුන් වයිරසවල ජානමය ව්‍යුහය අධ්‍යයනය කරන බව මා දන්නවා. වයිරස මිනිස් සෛලවලට බලපෑම් එල්ල කරන්නේ කෙසේදැයි ඔවුන් සොයනවා. කොරෝනා වයිරස සම්බන්ධයෙන් ඔවුන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒක ඇත්ත. මීට වසර කීපයකට පෙර චීනයටත් ලෝකයටත් බලපෑම් කළ සර්ස් ද කොරෝනා වයිරසයක්. ඒ නිසා කොරෝනා වයිරස සහ එම වයිරසවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය ඉතා වැදගත්. එපමණක් නොවෙයි, එච්.අයි.වී. මර්දනය සඳහා නව එන්නතක් හෝ ඔසුවක් හෝ නිපදවීමට වූහාන් විද්‍යාඥයන් උත්සාහ ගන්නේ වසර ගණනාවක් තිස්සේ. ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් මට කිසිවක් නිසැකවම කියන්න බැහැ. ඒත් නව ආකාරයේ වයිරස අත්හදා බැලීම් කිරීමට චීන විද්‍යාඥයන් යොමු වුණා වෙන්න පුළුවන්. එසේ නව වයිරස නිර්මාණයට අවශ්‍ය සියලු පහසුකම් 2015 දී ඉදිකළ නව රසායනාගාරය තුළ තිබෙනවා’ යැයි මහාචාර්ය පීටර් චුමකෝව් පෙන්වා දී තිබේ.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS