ලංකාව ගැන හොඳ කියලා



ආගන්තුක සත්කාර අතින් අප ශ්‍රී ලංකාව නිරන්තරයෙන් විදේශිකයන්ගේ ගෞරවයට දිනා ගනී. ආගන්තුක සත්කාර හොඳින් දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් ලෙස ශ්‍රී ලංකාවේ අප එදත් අදත් විදේශිකයන්ගේ ආදරයට ලක් වෙයි.

චීනයෙන් ඇරැඹි ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කරද්දී, එහි බලපෑම ශ්‍රී ලංකාවේ අපට ද දැනෙන්න විය. ගුවන් සහ නාවික ගමන් සියල්ල නවතා දමද්දී, බටහිර රටවල සංචාරකයෝ බොහොමයක් මෙරට කොටුවූහ.

සංචාරයට ගෙනා මුදල් අවසන් වී, කරකියාගත නොහැකිව විදේශිකයෝ බොහෝ දෙනෙක් අසරණ වූහ. ඇල්ල සංචාරක නගරයේ ද එසේ අසරණ වුණු සංචාරකයෝ බොහෝ දෙනෙකි. ඔවුන්ට නොමිලේ පහසුකම් සැපැයීමට ඇල්ල සංචාරක හෝටල් කීපයක හිමිකරුවෝ මැදිහක් වූහ. නවාතැන් ගාස්තු හෝ ආහාර පාන සඳහා ගාස්තු හෝ අය නොකර එම සංචාරකයන්ගේ දුක සැප සොයා බැලීමට එම හෝටල හිමිකරුවෝ පියවර ගත්හ.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් කළ අවස්ථාවේ, යනඑන මං නොමැතිව අසරණ වුණු විදෙස් සංචාරකයන් සය දෙනකු ගල් ලෙනක ජීවත් වන බව ඉන්දියාවෙන් වාර්තා වෙද්දී, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුවත්ය. ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ ආර්ථිකයත් සංචාරක කර්මාන්තයත් අඩපණ වී ඇති අවස්ථාවක, ශ්‍රී ලංකාවේ කොටුවුණු සිටින සංචාරකයන්ගේ දුක සැප සොයා බලා ඔවුන්ට පිහිටවීමට ශ්‍රී ලාංකිකයන් මැදිහත් වීම මේ වනවිට සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක් වී අවසන් ය. ඒ, ‘කොවිඞ් 19’ කොරෝනා වයිරස වසංගතය හමුවේ ලොව ආගන්තුක සත්කාරවලින් ඉහළින්ම සිටින රට ශ්‍රී ලංකාව යැයි නුසේර් යසීන් කළ ඇගැයීම අනුවය. නුසේර් යසීන් සංචාරකයෙකි.

ඊශ්‍රායල ජාතිකයකු වන මොහුගේ වයස අවුරුදු 28 කි. පරිගණක ඉංජිනේරුවකු ලෙස රැකියාව කරන නුසේර් සංචාරකයෙකි. මොහු ‘ව්ලොගර්’ වරයකු ලෙස ජනප්‍රිය චරිතයකි. රටින් රටට යමින්, ලබා ගන්නා සොඳුරු අත්දැකීම් රූගත කර එම වීඩියෝ අන්තර් ජාලයට එක් කරන්නෙකි. ‘ව්ලොගර්’ යනු වීඩියෝ දසුන් යොදා ගනිමින් අන්තර් ජාලයේ ‘බ්ලොග්’ අඩවියක් පවත්වා ගෙන යන තැනැත්තාය. නුසේර් යසීන්ගේ සංචාරක වීඩියෝ අතිශය ජනප්‍රියය. ‘නස් ඬේලි කෝපරේෂන්’ නමින් ඔහු සමාගමක් ද පිහිටුවා ඇත. මෙරට කළ සංචාරයන් ඇසුරින් නුසේර් යසීන් නිර්මාණය කළ වීඩියෝ දසුන් බොහොමයකි.

‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් මෙරට කොටුවුණු විදේශිකයන් රැක බලා ගැනීමට ශ්‍රී ලංකා රජය, සංචාරක අමත්‍යාංශය ක්‍රියාවට නැංවූ වැඩසටහන් නුසේර් යසීන්ගේ ඇගැයීමට ලක් වී ඇත. ඒ, ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය හරහා ය. ‘වයිරස වසංගතය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණා. ඒත් ශ්‍රී ලංකාව විදේශිකයන් අමතක කළේ නැහැ. මදිකමක් කළේ නැහැ. ඔවුන්ගේ අත්ම ගෞරවය ආරක්ෂා කරමින්, ඔවුන්ට කරුණාවන්ත වෙමින්, අවශ්‍ය පහසුකම් දිගටම ලබා දීමට කටයුතු කරනවා. ඔවුන් රැක බලා ගන්නවා’ යැයි නුසේර් පැවැසීම ශ්‍රී ලාංකික අපට ආඩම්බරයකි.

නුසේර් පවසන ආකාරයට ඇල්ල නගරයේ සංචාරකයන් 14 දෙනකු කොටු වී සිටින අතර, ඔවුන්ට නවාතැන් පහසුකම් පමණක් නොව, සෙසු සියලු පහසුකම් ලබා දීමට ප්‍රදේශවාසීහු ද ඉදිරිපත් වී සිටිති. ඒ, කිසිදු ලාබයක් හෝ වාසියක් හෝ අපේකෂා නොකරය. ‘කොටුවුණු සංචාරකයන්ට පිහිට වීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. ඔවුන් එම සංචාරකයන්ට සලකන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට සලකනවා වගේ.’ යැයි නුසේර් පැහැදිලි කර ඇත.

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසු අර්බුදයකට ලක්වුණු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි හිස එසවීමත් සමඟ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඊට හරස් විය. වයිරස ව්‍යාප්තිය වළක්වමින්, ශ්‍රී ලංකාව සියලු මගී ගුවන් ගමන් සහ නාවික ගමන් නැවැත්වූයේ පසුගිය මාර්තු මාසය මුලදී ය. එම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ කොටුවුණු සංචාරකයන් සංඛ්‍යාව 11,000 ක් බව නුසේරි පෙන්වා දෙයි. ‘සංචාරක අප ශ්‍රී ලංකාවට ආදරෙයි. දැන් අප කළ යුතුතේ ශ්‍රී ලංකාවට කලගුණ සැලකීමයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ආර්ථිකයට යළි නගා සිටුවීමටත් සංචාරකයන් වශයෙන් සහාය ලබා දෙන්න අපට පුළුවනි.’ යැයි නුසේර් පෙන්වා දී තිබේ.

විදෙස් මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS