මිරිදිය විලේ ‘කොහා මාළුවා’



අප්‍රිකා මහද්වීපයේ මිරිදිය විල් රැසකි. අප්‍රිකාවට ආවේණික මිරිදිය මසුන් අතරින් බහුලව දකින්න ලැබෙන සික්ලිඞ් මසුන්ගේ නිවහන මේ විල් ය. එකිනෙකට වෙනස් සික්ලිඞ් විශේෂ 1,500 ක් සිටිති.

මේ විල් පාරාදීසයක් වුවත්, ඉඩකඩ වෙනුවෙන් සික්ලිඞ් මසුන් අතරේ පවතින්නේ තරගයකි. ඉඩකඩ ඇහිරුණු මේ පුංචි ලෝකය අනතුරුවලින් පිරුණු තැනක් ද වෙයි. පුංචි සික්ලිඞ් මාළු බබාලා ගොදුරු කර ගැනීම පහසුය. මාළු බබාලා සතුරන්ගෙන් ආරක්ෂා කර ගන්න සික්ලිඞ් අම්මලා අපූරු ක්‍රමයක් අනුගමනය කරයි.

අනතුරක ඉව දැණුනු සැණින් මාළු අම්මා ඇගේ මුඛයට මාළු පැටවුන් පුරවා ගනී. මාළු අම්මා පැටවුන් මුදා හරින්නේ අනතුර පහව ගියාට පසුවය. සික්ලිඞ් මාළු අම්මා පැටවුන් මුඛයට ගෙන ආරක්ෂා කරන්නේ පැටවුන් පිහිනන්න පටන් ගත්තාට පසුව පමණක් නොවේ. ‘බිත්තර රැකීම’ සිදු කරන්නේ ද එලෙසිනි.

විල් පතුලේ වැලි කැට අතරේ ආලිංගනයේ යෙදෙන සික්ලිඞ් යුවලක්. මාළු අම්මා බිත්තර දමයි. ඒ බිත්තර සංසේචනය කිරීම මාළු තාත්තා විසින් සිදු කරනු ලබයි. විල් පතුලේ වැලි කැට අතරේ විසුරුණු කුඩා බිත්තර බොහොමයකි. මාළු අම්මා සහ තාත්තා දෙස හොරෙන් ඇස ගසා ගෙන සිටින තවත් මාළුවන් කණ්ඩායමක් ද සිටී. මොවුන් බිළාල (කැට් ෆිෂ්) මාළු විශේෂයකි. සැඟවී හොරෙන් බලා සිටින මාළු ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘කුකූ කැට් ෆිෂ්’ යනුවෙනි. ‘කුකූ’ යනු ඉංග්‍රීසියෙන් ‘කොහා’ යන්න ය. කපුටාගේ කූඩුවේ කොහා බිත්තර දමනවා වැනි යමක් මේ ‘කොහා මාළුවෝ කරති. එය සැබැවින්ම පුදුමාකාරය.

සික්ලිඞ් අම්මා විසුරුණු බිත්තර මුඛයෙන් එකතු කරද්දී, කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන කොහා මාළුවෝ එතැනට පිහිනා එති. කොහා මාළුන් විසුරු බිත්තර ආහාරයට ගනිද්දී, හැකි තරම් බිත්තර මුඛයට ගෙන ආරක්ෂා කර ගැනීමට සික්ලිඞ් මාළු අම්මා යුහුසුළු වෙයි. හටගන්නා කලබලය අතරේ, කොහා මාළුවොත් බිත්තර දමති. කොහා පිරිමි මාළුවෝ ඒවා සංසේචනය කරති. මෙය කොහා මාළුන්ගේ කපටි උපක්‍රමයයි. සික්ලිඞ් මාළු අම්මාට තමන්ගේ බිත්තර මොනවාද කොහා මාළු බිත්තර මොනවාද තෝරා බේරා ගැනීමට හැකියාව නැත. ඇය ඇහුවෙන සියලු බිත්තර මුඛය තුළ රඳවා ගනී.

බිත්තර මුඛයේ පුරවා ගත් සික්ලිඞ් අම්මා ගල් පොත්තක් යට සැඟවී බලා සිටී. බිත්තර ආරක්ෂා කරයි.  බිත්තර මෝරා පැටවුන් එළියට ඒමට සති තුනක් ගතවෙයි. ඒ කාලයේ සිඞ්ලිඞ් අම්මා ආහාර ගන්නේ නැත. ඇය කරන්නේ සැඟවී බලා සිටීම පමණය. දින 18 ක් යද්දී,  සික්ලිඞ් අම්මාට අමුත්තක් දැනෙයි. පැටවුන් ලොකු වෙලා ඇයට දැනෙයි. ඇතිවන අපහසුතාවය නිසා ඇය සියලුම බිත්තර පිටතට දමයි. එළියට වැටෙන සික්ලිඞ් බිත්තර මෝරා නැත. සික්ලිඞ් පැටවුන් තවමත් හොඳින් වැඩී නැත. ඒ සමඟ හොඳින් වැඩුණු කොහා මාළු පැටවුන් එළියට එයි.

සික්ලිඞ් අම්මාගේ මුවෙන් පිටතට පැමිණෙන කොහා මාළු පැටවුන් ගණන 6 කි. කොහා මාළු පැටවකු සිඞ්ලිඞ් පැටවකුට වඩා තුන් ගුණයක් විශාලය. දැන්, මොකද වෙන්නේ ? කොහා මාළු පැටවුන්ගේ පළමු ආහාරය වන්නේ නොවැඩුණු සික්ලිඞ් මාළු පැටවුන් ය. වෙනසක් පෙනෙන තුරු සික්ලිඞ් අම්මා තමන්ගේ පැටවුන් යැයි සිතා තව සති කීපයක් කොහා මාළු පැටවුන්ට රැකවරණයත් ආරක්ෂාවත් සෙනෙහසත් ලබා දෙයි.

ලුසිත ජයමාන්න
බී.බී.සී. ‘සෙවන් වර්ල්ඞ්ස්
වන් ප්ලැනට්’ ඇසුරිනි

RECOMMEND POSTS