තණ කොළ කෑ කිඹුල් රජා



ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී වාසය කළ, අදත් දැකිය හැකි සත්ව විශේෂ කිහිපයකි. කිඹුලන් ඒ අතරින් කැපී පෙනෙයි. අද අප දකින කිඹුල්ලු මාංශභක්ෂකයෝය. එහෙත් අතීතයේ, එනම් අවුරුදු මිලියන 200 කට පෙර, වාසය කළ කිඹුල් විශේෂ ශාකභක්ෂකයන් වූ බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

මෙම නව පර්යේෂණය සිදු කර ඇත්තේ ඇමෙරිකාවේ යූටා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවකු වන කීගන් මේල්ස්ටෝම් ඇතුළු කණ්ඩායමය. මොවුන්ට ඉපැරැණි කිඹුලන්ගේ පොසිල අස්ථි මෙමපර්යේෂණයට ඉවහල් වී ඇත. අවුරුදු මිලියන 66 කට කලින් ඩයිනසෝරයන් පෘථිවියෙන් විනාශ වෙද්දී, ශාකභක්ෂක මේ කිඹුල් විශේෂ පණ බේරාගෙන සිටි බවට සාක්ෂි හමුවී ඇත.

ශාක භක්ෂක කිඹුලන් බව මෙම කිඹුලන් හඳුනා ගැනීම සිදුවී ඇත්තේ පොසිලකරණය වූ කිඹුල් දත් අනුවය. එම දත් සෑදී ඇත්තේ මස් ඉරා කෑමට නොවෙයි. ශාක වර්ග සහ තණ කොළ ආදිය හොඳින් හපා ගිලීමට හැකි අයුරිනි. අතීතයේ විසූ කිඹුල් විශේෂ 16 කින් හමුවුණු පොසිල දත් 146 ක් වෙන් වෙන්ව පරීක්ෂා කිරීම සිදුකර ඇත.

‘සාමාන්‍යයෙන් මාංශ භක්ෂක ජීවීන්ගේ දත් සරලයි. උන්ට දත් අවශ්‍ය වන්නේ හපා කන්න නොවෙයි. මස් කැබලි ඉරා කඩා ගැනීමටයි. වර්තමානයේ අප දකින කිඹුල් විශේෂවලට ඇත්තේ එකම විදියේ දත්. ශාක භක්ෂකයන්ගේ දත් සංකීර්ණයි. ගන්නා ආහාර හොඳින් පොඩි කරමින් අඹරමින් ගිලදැමීමට එම දත් උපකාරී වෙනවා. අතීතයේ ශාක භක්ෂක මේ කිඹුල් විශේෂ ක්ෂීරපායීන් සමඟ මිහිමත ජීවත් වෙන්න ඇති.’ යැයි කීගන් මේල්ස්ටෝම් ඔහු විසින් කළ නව සොයා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැහැදිලි කරයි.

අතීතයේ ජීවත් වූ සහ වර්තමානයේ ජීවත් වන කිඹුල් විශේෂ සියල්ල අයත් වෙන්නේ ක්‍රොකඩිලෝමෝෆා නමැති පවුලටය. මොවුන්ගේ බිහිවීම සිදුවී ඇතැයි පැවැසෙන්නේ පර්මියානු යුගයේදීය. ඒ වසර මිලියන 260 ත් 255 ත් අතර කාලයේය.

කිඹුලකු යැයි විග්‍රහ කළ හැකි කිඹුල් විශේෂයක් බිහිවූයේ ත්‍රියාසික යුගය (අවුරුදු මිලියන 220 ත් 201 ත් අතර) අවසන් වෙද්දීය. මේ කිඹුලා හැඳින්වෙන්නේ ප්‍රොටෝසූකස් යනුවෙනි. මේ සත්වයාගේ පොසිල අස්ථි සහ හිස් කබල් කොටස් වර්තමානයේ අප දකින කිඹුලන්ට බෙහෙවින් සමාන වෙයි.

ක්‍රොකඩයිල් යන්නට පොදුවේ කිඹුලා යන සිංහල අදහස පට බැඳුනත්, ක්‍රොකඩයිල් යනු කිඹුල් විශේෂයකි. මේ විශේසය පොදුවේ දෙකට බෙදෙන්නේ කරදිය කිඹුලන් සහ මිරිදිය කිඹුලන් ආදි වශයෙන් අප ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ මේ ක්‍රොකඩයිල් යනුවෙන් හැඳින්වෙන කිඹුල් විශේෂයයි. නයිල් ක්‍රොකඩයිල් දකින්න ලැබෙන්නේ අප්‍රිකාවේ නයිල් නදිය ආශ්‍රිතවය ඕස්ටේ්‍රලියාවේ දකින්න ලැබෙන්නේ සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් එසේත් නැතිනම් කරදිග කිඹුලන්ය.

කිඹුලන් නිවර්තන කලාපයේ දැකිය හැකි උරග විශේෂයකි. කිඹුල් විශේෂ කීපයකි. ඒ එක් එක් විශේෂයේ ස්වරූපය ද වෙනස්ය. ඇලිගේටරයන් දකින්න ලැබෙන්නේ ඇමෙරිකාවේය. ලතින් ඇමෙරිකාවේ එසේත් නැතිනම් දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තර ආශ්‍රිතය දකින්න ලැබෙන්නේ කේමන් නමැති කිඹුලන්ය. ඉන්දියාට, නේපාලයට, බංග්ලාදේශයට සහ පාකිස්තානයට ද අවේණික කිඹුලන් විශේෂයක් වෙයි. මොවුන් හැඳින්වෙන්නේ ගාරියල් යනුවෙනි.

මොවුන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ හොස්ස එසේත් නැතිනම් හොම්බේ ස්වභාවය අනුවය. කේමන් සහ ඇලිගේටරයන්ට ඇත්තේ කෙටි හොම්බකි. කේමන්ගේ හොම්බ ඇලිගේටර්ට වඩා කෙටිය. පළල්ය. ගාරියල්ගේ හොම්බ දිගය.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS