චීනයෙන් ආ අලුත් ලෙඩේ



විද්‍යාවට ආගන්තුක වයිරසයක් මේ වන විට ලොව කැලඹීමට සමත් වී ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු මෙම වයිරසය, මේ වනවිට සියයකට ආසන්න පිරිසක් බිලිගෙන අවසන්ය.

වයිරසය ආසාදනය වූ තවත් දහසකට ආසන්න පිරිසක් රෝහල්ගතව සිටිති. මියගිය බොහෝ දෙනා චීන ජාතිකයෝය. ඔවුන් මියගියේ වයිරසය හේතුවෙන් පෙනහළු ආසාදන තත්ත්වයක්, එසේත් නැතිනම් නිව්මෝනියා තත්ත්වයක් හටගැනීමෙනි.

වූහාන් නගරයෙන් මෙම වයිරසය හිස එසවීමට පටන් ගත්තේ පසුගිය දෙසැම්බරයේදීය. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටත්, වයිරසය ලොව පුරා පැතිරෙනු ඇති බවටත් බියක් හටගෙන ඇත.

මෙම නව වයිරසය කොරෝනා වයිරසයක් යැයි චීන වෛද්‍ය පර්යේෂකයන් විසින් තහවුරු කරනු ලැබ ඇත. කොරෝනා වයිරස පවුලට අයත් වයිරස් වර්ග බොහොමයකි.

කෙසේ නමුත් මේ වනතුරු මිනිසුන්ට ආසාදනය වූ කොරෝනා වයිරස පැවැතියේ 6 ක් පමණය. 7 වැනි වයිරසය වන්නේ මෙම නව වයිරසයයි. කොරෝනා වයිරස පළමුවෙන් ක්ෂීරපායීන්ගෙන් සහ පක්ෂීන්ගෙන් මිනිසුන්ට බෝ වීම සිදුවෙයි. ඉන්පසු ඒවා මිනිසුන් අතරේ බෝ වෙයි.

නව වයිරසය මිනිසුන්ට ආසාදනය වූයේ නාගයන්ගෙන් යැයි පැවැසෙයි. ‘චයිනීස් කෝබ්‍රා’ නාගයන් වූහාන් නගර වැසියන්ගේ ආහාරයකි. නාගයන් වවුලන් ආහාරයට ගනී. නව වයිරසය වවුලන්, නාගයන් හරහා මිනිසුන්ට ආසාදනය වී ඇත.

‘සාර්ස්’ සහ ‘මර්ස්’ යනු මාරක කොරෝනා වයිරස වර්ග දෙකකි. ‘සාර්ස්’ වයිරසය හිස එසවූයේ 2002 වසරේදීය. 2003 දී වයිරසය මර්දනය කිරීමට හැකිවෙද්දී, ඊට බිලිවුණු ගණන 774 කි. රෝගී වූ ගණන 8,098 කි. ‘සාර්ස්’ වයිරසයේ පැතිරීම සිදුවූයේ ද චීනයෙනි. ‘සාර්ස්’ මිනිසුන්ට බෝ වී ඇත්තේ කැළෑ බළලුන්ගෙනි.

‘මර්ස්’ වයිරසය පැතිර ගියේ සෞදි අරාබිය ප්‍රමුඛ මැදපෙරදිග රටවලය. ඒ, 2012 දීය. මෙය ඔටුවන්ගෙන් මිනිසුන්ට බෝ වූ කොරෝනා වයිරසයකි. ‘මර්ස්’ වයිරසයට බිලිවුණු ගණන 858 කි. රෝගී වූ ගණන 2,494 කි.

නව වයිරසය මනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට පැතිරීම ආරම්භ වූයේ එය විකෘතිකරණයට ලක් වීමෙනි. වයිරසවල ස්වභාවය එයයි. චීනයේ පැතිරෙන මෙම වයිරසය ඉබේ පාලනය වන්නේ නැත. නව වයිරසයට ප්‍රතිකර්මයක් ද නැත. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ශ්වසන අපහසුතා රෝග ලක්ෂණ වෙයි.

නව වයිරසයට ප්‍රතිකර්මයක් (එන්නතක්) සකස් කිරීම ද මේ වන විට ලහිලහියේ සිදුවෙයි. බටහිර රටවල් එහි ප්‍රමුඛත්වය ගනිමින් කටයුතු කරන බව වාර්තා වේ. ‘මර්ස්’ වයිරසයට එන්නතක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බැවින් සහ ‘මර්ස්’ මෙන්ම මෙම නව වයිරසය ද කොරෝනා වයිරස පවුලට අයත් වන බැවින් නව වයිරසයට එන්නතක් සකස් කිරීම පහසු වනු ඇතැයි පැවැසෙයි.

වයිරසය පාලනය කිරීම කළ යුතුය. ඒ සඳහා දැඩි පියවර අනුගමනය කිරීමට චීන බලධාරීන් මේ වන විටත් පියවර ගෙන අවසන්ය. වූහාන් නගරය ඇතුළු නගර රැසක් සීල් තැබීමට පියවර ගෙන ඇත. රෝගී වූවන් වෙන් කිරීමට පියවර ගෙන ඇත. රෝගීන් වෙනුවෙන් දින කීපයක් ඇතුළත විශේෂ රෝහලක් ඉදි කිරීමට ද චීන බලධාරීන් ලහිලහියේ කටයුතු කරන බව ද වාර්තා වේ.

ලුසිත ජයමාන්න
‘බී.බී.සී. ඇසුරිනි’


RECOMMEND POSTS