ගගන සක්මනක යෙදුණු කාන්තාවෝ



ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවරියන් වන ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක් ඓතිහාසික ගගන වික්‍රමයකට එක්වූහ.

ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක් දෙදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටතට ගොස්, පැය 7 කට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ ගත කරමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ අක්‍රිය වූ බැටරියක් ඉවත් කර නව බැටරියක් ස්ථානගත කළහ.

මීට පෙර කෙදිනකවත් ගගනගාමිනියන් දෙදෙනකු පමණක් මේ අයුරින් ගගන සක්මනක යෙදී තිබුණේ නැත. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, කාන්තාවන් දෙදෙනාගේ වික්‍රමය ඇමෙරිකාවේ කාගේත් ඇගයීමට ලක් විය.

ගගන සක්මන ආරම්භ වූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 7.38 ටය. සුදු පැහැති ගගන ඇඳුමින් සැරැසී, සෙසු ගගනගාමීන්ගේ ද සහාය ඇතිව, පළමුවෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටතට ආවේ ක්‍රිස්ටිනා කොක් ය. ඇය පසුපසින් ජෙසිකා මියර් පිටතට පැමිණියාය. බොහොම සන්යමයෙන්, එකිනෙකා සමඟ හොඳින් පණිවුඩ හුවමාරුවේ යෙදමින් දෙදෙනා තම තමන්ට පැවරුණු රාජකාරිය අකුරට ඉටු කළහ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් 425 ක් ඉහළිනි. 1998 වසරේ ඇමෙරිකාව මෙම අභ්‍යවකාශ නැවතුම්පොළ ඉදිකිරීම ආරම්භ කළේය. ඉන්පසු රුසියාව ඊට සම්බන්ධ විය. 1998 සිට 2000 වනතුරු ලොව අභ්‍යවකාශ ආයතන සියල්ලේම එකමුතුවෙන් නැවතුම්පොළ නිර්මාණය වී අවසන් කෙරුණි. ඒ, කොටස් කොටස් උඩු ගුවනට ගෙන ගොස් එකලැස් කරමිනි. ජාත්‍යන්තර අභ්‍යවකාහ නැවැතුම්පොළ ලෙස මෙය හැඳින්වෙන්නේ එම එකමුතුව නිසාය.

මේ මොහොත වනවිට ක්‍රිස්ටිනා කොක් සහ ජෙසිකා මියර් ට අමතරව, නාසා ඉන්ජිනේරුවෝ සිවු දෙනෙක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිති. මාස කිහිපයකට වරක්, මාරුවෙන් මාරුවට පෘථිවි අභ්‍යවකාශ ආයතන නියෝජනය කරමින් ඉන්ජිනේරුවන්, පර්යේෂකයන් අභ්‍යවකාශ නැමැතුම්පොළට ගොස් එහි රැඳී සිටින්නේ විවිධාකාරයේ පරීක්ෂණ කරමිනි.

ඓතිහාසික ගගන සක්මන අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සජීවීව, උඩු ගුවනේ සිටින ක්‍රිස්ටිනා කොක් සහ ජෙසිකා මියර් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ට සුබ පැතුවේය. ට්‍රම්ප්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙසිකා මියර් හඳුන්වා දුන්නේ ‘අභ්‍යවකාශයට පළමු කාන්තාවන්’ යනුවෙනි. තමන් අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාවන් නොවන බවත්, කාන්තාවන් පමණක් සහභාගී වූ පළමු ගගන සක්මන තමන් විසින් සිදු කළ බවත් ක්‍රිස්ටිනා කොක් සහ ජෙසිකා මියර් පසුව පැහැදිලි කිරීමක් ද කළහ.

ට්‍රම්ප් අභ්‍යවකාශ නැවැතුම්පොළ සමඟ සම්බන්ධ වූයේ, නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඞ්න්ස්ටයින්, ට්‍රම්ප් දියණිය මෙන්ම උපදේශිකාවක ද වන ඉවන්කා, උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ධවල මන්දිරයේ නිලධාරීන් බොහෝ දෙනකු ද පිරිවරාගෙනය.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS