කොරෝනා බෙදූ ශීක් ගුරු



අසල්වැසි ඉන්දියාව ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්වුණු රටකි. එක් කොරෝනා ආසාදිතයකු හේතුවෙන් ඉන්දියාවේ උතුරුදිග පන්ජාබයේ ගම්මාන 20 ක පදිංචිකරුවන් 40,000 ක් නිරෝධායනය කිරීමට ඉන්දීය රජයට සිදුවී ඇත.

මේ ආසාදිතයා අද ජීවතුන් අතර නැත. 70 හැවිරිදි ඔහු කොරෝනා වයිරසයට බිලිවී අවසන් ය. කෙසේ නමුත් ඔහු පන්ජාබයට ගෙනා වයිරස වසංගතය තවමත් ළැව් ගින්නක් සේ උතුරු ඉන්දියාව පුරා පැතිරෙයි.

මේ තැනැත්තා ශීක් ආගමික දේශකයෙකි. මහා උගතෙකි. ඉන්දියාවේත් ඉන්දියාවෙන් පිට යුරෝපයේත් කැනඩාවේත් පිළිගැනීමකට ලක්වුණු චරිතයකි. ඔහුගේ නම බල්දේව් සිං ය. ශීක් දහම සම්බන්ධයෙන් බල්දේව් සිං උගතකු වන්නට ඇත. ශීක් දහම සම්බන්ධයෙන් ඔහුට මහා පුළුල් දැනුමත් තිබෙන්න ඇත. ඉන්දියාවේ පන්ජාබයේ පමණක් නොව යුරෝපා රටවල සහ කැනඩාවේ ඔහුට අනුගාමිකයන් සිටිනවා විය හැකිය. මිල මුදලින් ද ඔහුට අඩුවක් තිබුණේ නැත. එහෙත්, කොරෝනා වයිරසය ගැන බල්දේව් සිං ට කිසිදු දැනුමක් තිබුණේ නැත.

බල්දේව් සිං ඉතාලියේ සහ ජර්මනියේ සංචාරය කරමින් අනුගාමිකයන් පිරිවරාගෙන යළි ඉන්දියාවට පැමිණියේය. ඒ වනවිටත් කෝයිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ඔහුගේ සිරුරට ඇතුළු වී තිබුණි. අසනීප තත්ත්වයක් ඇති නම් නිරෝධායනය වන ලෙස සහ නිවෙස් තුළ සිටින ලෙස ලැබුණු උපදෙස් නොතකා බල්දේව් සිං පන්ජාබයේ ‘හෝලා මහලා’ ශීක් සැණකෙළියට සහභාගී විය. දින 6 ක් තිස්සේ පැවැති මෙම සැණකෙළියට දිනකට පැමිණි ගණන 10,000 ඉක්මවී ය. පැමිණි සැවොම ආපසු නිවෙස් බලා ගියේ බල්දේව් සිං අසලට පැමිණ ආශිර්වාදය ලබා ගනිමිනි.

සැණකෙළිය පවත්වා සතියක් යද්දී, බල්දේව් සිං මියගියේය. ඒ, කොරෝනා වයිරසය නිසා හටගත් නිව්මෝනියා තත්ත්වයෙන් බව පසුව තහවුරු විය. ඉන් දින කීපයක් ගතවෙද්දී ඔහුගේ සමීපතම අනුගාමිකයන්ට, පවුලේ සැමට වයිරසය ආසාදනය වී තිබුණි. ඉන්පසු සැණකෙළියට පැමිණි එකා දෙන්නා අසනීප වීමට පටන් ගත්තේය. 550 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වෙද්දී, ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වී, පන්ජාබයේ එම ගම්මාන 20 සහ ඒවායේ පදිංචිකරුවන් 40,000 දෙනා නිරෝධායනය කළේය. ඒත් ප්‍රමාද වැඩිය.

සැණකෙළියට සහභාගී වූයේ පන්ජාබ් ශීක් වැසියන් පමණක් නොවෙයි. අවට ප්‍රාන්තවලින් ද ශීක් වැසියන් සැණකෙළියට පැමිණ ඇති බව මේ වනවිට තහවුරු වී ඇත. ඒත්, දහස් ගණනක් දෙනා සොයා යෑමට පන්ජාබ් බලධාරීන්ට කළ නොහැකි දෙයකි. අසල්වැසි ඉන්දියාවේ, ‘කොවිඞ් 19’ වයිරසය වේගයෙන් පැතිරෙන්න ශීක් ගුරු බල්දේව් සිංගේ ආශිර්වාදය හේතුවක් වූයේ මෙලෙසය.

සමාජීය සහ ආර්ථිකමය වශයෙන් ‘කෝවිඞ් 19’ වයිරස වසංගතය ඉන්දියාවට කළ බලපෑම සුළුපටු නොවෙයි. ඉන්දියාවේ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව දහස පසු කර ඇත. මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට දින 21 ක් ඉන්දියාව ‘ලොක්ඩවුන්’ කළේය.

එන්.ඩී.ටීවී ඇසුරිනි


RECOMMEND POSTS