කාන්තාවන් සඳට යවන්න නාසා සූදානම්



සඳ තරණය එසේත් නැතිනම් සඳ මත පය තැබීම මිනිස් වර්ගයාගේ විශිෂ්ටතම වික්‍රමයයි.

අභ්‍යවකාශය වෙනුවෙන් සහ සඳ තරණය වෙනුවෙන් තරගය පැවැතියේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතරේ නිරවි යුද සමයේදීය. අභ්‍යවකාශය ජය ගැනීමේදී එකිනෙකාට පරයමින් වාර්තා පිහිටුවීමට දෙරටටම හැකියාව ලැබුණි.

තරගය අවසන් වූයේ 1969 වසරේ ඇමෙරිකාවේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩීන් සඳ මත පය තැබීමත් සමඟය.

‘මෙය මනුෂ්‍යයා තැබූ පුංචි පියවරක්. ඒත් මනුෂ්‍ය වර්ගයා කළ මහ පිම්මක්’ යනුවෙන් මුලින්ම සඳ මත පය තබමින් නීල් ආම්ස්ට්‍රෝං කීවේ නිකමට නොවෙයි.

සඳ තරණය සැබැවින්ම වික්‍රමයකි. 1969 වසරේ ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුමින් පසු, ඇපලෝ මෙහෙයුම් රැසක් සිදුවිය. ඒ, 1972 තෙක් කාලය පුරාවටය. ඒ කාලයේ නාසා ගගනගාමීන් 12 දෙනකු සඳ මත පය තබා ඇත. ඔවුහු පැය 80 කට ආසන්න කාලයක් සඳ මතුපිට රැඳෙමින් සඳ ගවේෂණය කළහ.

1972 වසරෙන් පසු මිනිසා සඳට ගියේ නැත. වැඩි අවධානය යොමු කළේ පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට සහ සෞරග්‍රහ මණ්ඩලය තුළත් ඉන් ඔබ්බටත් ගවේෂණ සිදු කිරීමටය. මේ දක්වා සිදු කළ ගවේෂණ සැබැවින්ම විස්මිතය.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන්, නොසිතූවිරූ ආකාරයට ජයගත් ඩොනල්ඞ් ට්‍රම්ප්, ජනපති පුටුවේ වාඩිවූයේ ‘ඇමෙරිකාවට මුල්තැන’ යන සංකල්පය සමඟිනි. ජනපති ට්‍රම්ප්ගේ එක් අරමුණක් වී ඇත්තේ යළිත් වතාවක් සඳට ගගනගාමීන් යැවීමය.

සඳට ගගනගාමීන් යැවීම පහසු කටයුත්තක් නොවෙයි. අධික මුදලක් වැය වන කටයුත්තකි. එතරම් විශාල මුදලක් ඇමෙරිකන් රජයට දැරිය නොහැකිය. එය ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනපති ධුරයේ සිටි බැරැක් ඔබාමාට වැටහී තිබුණි.

ඔහු ඇමෙරිකානු රාජ්‍ය ගගන පර්යේෂණ අංශය හෙවත් නාසා ආයනයට පෞද්ගලික අංශය සම්බන්ධ කළේය. දැන් නාසා ආයතනය ශක්තිමත්ය.

වසර 2033 වෙද්දී, අඟහරු මතුපිටට ගගනගාමීන් යැවීමට නාසා සූදානම් වෙයි. ඒත් ඊට පෙර, එනම් 2024 දී, යළිත් සඳට ගගනගාමීන් යැවීමට නාසා බලාපොරොත්තු වෙයි.

මෙවර සඳ ගමනේ විශේෂත්වය වනු ඇත්තේ ගගනගාමීන් පමණක් නොව ගගනගාමිණියන් ද මෙහෙයුමට එක් කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වීමය. ඒ අනුව, පළමු වරට සඳට කාන්තාවක් පය තබනු ඇත.

නාසා ආයතනය 1969 වසරේ සඳ තරණය කළේ ‘ඇපලෝ’ මෙහෙයුම යටතේය. ග්‍රීක මිත්‍යා කතා අනුව ඇපලෝ හිරුට අධිපති දෙවියාය. සඳ තරණය මෙහෙයුමට යෙදුණේ හිරු දෙවිඳුගේ නමය. ඇපලෝට නිවුන් සොහොයුරියක සිටී. ඇය ‘ආටිමිස්’ ය. ආටිමිස් යනු දඩයමට අධිපති දෙවඟනය.

කාන්තාවන් ද සහභාගී වන 2024 දී ආරම්භ වන නව චන්ද්‍ර මෙහෙයුම නම් කර ඇත්තේ ‘ආටිමිස්’ යන නමිනි. ‘මෙහෙයුමේ නම ආටිමිස්. තව අවුරුදු පහකින් මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. නාසා ගගනගාමියකු සමඟ ගගනගාමිනියක සඳට පය තබන්න අප සලස්වනවා. ඒක කාන්තාවන් ලබන ලොකු ජයග්‍රහණයක් වේවි’ යැයි නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඩෙන්ස්ටයින් පෙන්වා දෙයි.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS