ඉතිහාස ගතවූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා



සිව්වැනි වරටත් අගමැති වූ මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවිය ගැන කෙටි සටහනකි මේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගනිමින් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ගෙන ඉතිහාසයට එක් විය.

විධායක ජනාධිපති ධූරයේ දෙවරක් සේවය කොට අග්‍රමාත්‍ය ධූරයට සිව් වතාවක් පත්වූ පළමුවැන්නා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසයට එක් වූයේ මෙරට දේශපාලන පිටුවේ නව පොත් පිටු පෙරළමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 09) පෙරවරුවේ මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඓතිහාසික කැලණිය පුද බිමේදීය.

සිව්වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා දෙවතාවක් මෙරට විධායක ජනාධිපති ධුරය හෙබවිය.නව අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා පනස් වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන දැවැන්ත දේශපාලන චරිතයකි.

1970 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.

2004 අප්‍රේල් මස 06 වැනිදා පළමු වරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ එතුමා 2018 ඔක්තෝබර් 26 වැනිදා දෙවැනි වරටත්, 2019 නොවැම්බර් මස 21 වැනිදා තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය.

වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා 30 වසරක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වේගවත් සංවර්ධනයකට රට රැගෙන යාමටත් සමත් විය.

 (තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS