අධෝවාතයක් කළ හදියක්



අධෝවාතයක් නිසා හටගත් ගැටුමක් සහ තෙරපීමක් මුල්කොට ගනිමින්, පුරාණ ජෙරුසලමේ 10,000 ක් මියයෑමේ සිදුවීමක් ගැන වාර්තා වෙයි. වසර 2,500 කට පෙර සිදුවුණු මෙම සිදුවීම පිළිබඳව විස්තර සටහන්ව ඇතැයි පැවැසෙන්නේ රෝම ඉතිහාසඥ ෆ්ලැවියස් ජොසෙෆස් විසින් රචිත පොතකය.

ෆ්ලැවියස් එම පොත ලියා ඇත්තේ ක්‍රි.ව. 75 දීය. එහි නම ‘යුදෙව් සංග්‍රාම’ යන්නය. යුදෙව්වන්  රෝමවරුන් සමඟ යුද වැදුණු ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මෙම පොතේ අඩංගු වෙයි. අධෝවාතයක් නිසා ගැටුමක් සහ තෙරපීමක් ඇතිවුණු බව පැවැසෙන්නේ, ක්‍රි.පූ. 600 ත් 500 ත් අතර කාලයේදීය. යුදෙව් සංග්‍රම සම්බන්ධයෙන් ෆ්ලැවියස් රචනා කළ දෙවැනි පොතේ, එකළොස් වැනි පරිච්ඡේදයේ සඳහන් වන අන්දමට එම සිද්ධිය මෙසේය.

මේ අවදියේ ජෙරුසලම රෝම පාලනය යටතේ පැවැතිණි. යුදෙව් උත්සව පැවැත්වෙද්දී, එම උත්සව සහ පූජනීය ස්ථානවලට රෝම සොල්දාදුවන් වැඩි වැඩියෙන් යෙදවිණි. ඒ, කැරැලි ගැසීම් වැළැක්වීම සඳහාය. යුදෙව්වෝ සිය ගණනින් ඔවුන්ගේ ශුද්ධ වූ ‘පාස්ඕවර්’ දිනය සමරමින්, ආගමික වතාවත්වල යෙදෙමින් යුදෙව්වන්ගේ පූජනීය දෙවොලක් වෙත එක් රොක් වී සිටියහ. යුදෙව්වන්ට රෝම සොල්දාදුවන් නොරිස්සූ අතර, රෝම සොල්දාදුවන් ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකම කළේ යුදෙව්වන් නොරුස්සන අයුරින් මොකක් හෝ නොහොඹිනා දෙයක් කිරීමය.

දෙවොලට යොදවා සිටි රෝම සොල්දාදුවන් කීප දෙනකු සහ යුදෙව්වන්  අතරේ බහින්බස් වීමක් සිදුවිය. බහින්බස්වීම දුරදිග ගියේය. ඒ අවස්ථාවේ, එක් රෝම සොල්දාදුවෙක් ඔහුගේ අඳුම පහත් කොට, පස්ස යුදෙව්වන් දෙසට හරවා, හිතාමතා අධෝවාතයක් පිට කර ඇත. ඒ, යුදෙව්වන්ට අපහාස කිරීමක් වශයෙනි. මෙය යුදෙව්වන්ගේ කෝපයට හේතුවක් වූ අතර, තමන්ට අපහාස කළ රෝම සොල්දාදුවා වට කර ගැනීමට ඔවුන් උත්සාහ දරා ඇත. සෙසු සොල්දාදුවන් ඊට හරස් වෙද්දී, දෙපිරිස අතර ගැටුමක් නිර්මාණය විය.

ඒ සමඟ සීරුවෙන් සිටි රෝම සොල්දාදුවන්ගේ බලඇණියක් ද දෙවොලට පැමිණ තිබේ. එවිට සිය ගණනක් වූ යුදෙව් බැතිමතුන් අතරේ මහා කලබලයක් සහ තෙරපීමක් හටගත්තේය. ජීවිත හානි සිදුවී ඇත්තේ මේ තෙරපීමෙනි. ‘අධෝවාතයක් කළ හදියක්’ යනුවෙන් මෙම සිදුවීම ජොසෙපස් සිය වාර්තා අතරේ සටහන් කර තිබේ.

ලුසිත ජයමාන්න
‘ද සන් ඇසුරිනි’


RECOMMEND POSTS