සෞදියෙන් අරාබි එමීරයට



පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් පසුගිය 18 වැනිදා පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් සෞදිය බලා පැමිණියේය.

ඉම්රාන් සෞදියට පැමිණියේ 18 වැනිදා සවසය. ඒ, පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකිනි. සෞදි රජයෙන් අගමැති ඉම්රාන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මෙදීනා සහ ජෙඩා නගරවල ඉම්රාන් සංචාරය කළේය. රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවර සෞදි වරාය නගරයේ ද සංචාරය කළේය.  ඉම්රාන් ඛාන් සහ සෞදියේ සල්මාන් රජු අතර හමුව පැවැත්වූයේ එම අවස්ථාවේදීය. හමුව පැවැත්වූයේ සාම මන්දිරයේය. ඉම්රාන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අටියෙන් මෙහිදී අගමැති ඉම්රාන් සහ සෞදියේ සල්මාන් රජු අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු ඉම්රාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බලා පැමිණියේය. එහිදී අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පාකිස්තානය පවත්වන්නේ විශේෂ සබඳතාවකි. පාකිස්තානුවන් බොහෝ දෙනෙක් සෞදියේත්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේත් සේවය කරති. එපමණක් නොව, පාකිස්තානයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සෞදියෙන් විශේෂ සහයක් ද හිමිවෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS