සෞදි ගිය පුටින්ට ඉහළ පිළිගැනීමක්



තෙල් ගනුදෙනු සහ කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෞදි අරාබියට පැමිණියේය.

ජනාධිපති පුටින්, නිල සංචාරයක් සඳහා සෞදියට පැමිණියේ වසර 12 කට පසුවය.

රියාද් නුවරට පැමිණ රුසියන් ජනපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ජනපති පුටින් රැගත් ලිමොසීන් රථය සෞදි රජ මාලිගාවට ගමන් කළේ අශ්වාරෝහක හමුදා සොල්දාදුවන් පිරිවරා ගනිමිනි. සෞදි රජ මාගිලාවේදී සෞදි හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම රුසියානු ජාතික ගීය වාදනය කළේය.

සෞදියේ සල්මාන් රජු හමුවීමට පෙර, සෞදි රජයේ ඇමැතිවරුන් සහ ජනාධිපති පුටින් අතරේ හමුවක් පැවැත්විණි. සල්මාන් රජු සහ රුසියන් ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡා එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණු බව ද වාර්තා වේ.

සෞදිය සහ ඉරානය අතර පවතින එදිරිවාදිකම් සම්බන්ධයෙන් සෞදි රජු සහ පුටින් සාකච්ඡා කළහ. ඉරානය රුසියාවේ සමීපතම මිතුරෙකි.

සිරියානු අර්බුදයේදී ඉරානය සේම රුසියාව, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙයි.

සෞදියේ සහාය හිමිවන්නේ ජනපති අසාද් බලයෙන් නෙරපා හැරීමට උත්සාහ ගන්නා විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

රුසියානු ජනාධිපති පුටින් සහ සෞදියේ සල්මාන් කුමරු අතර හමුව ඉන්පසු පැවැත්විණි. රුසියාවත් සෞදියත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙම හමුව ඉවහල් වුණැයි රුසියානු පුවත් සේවා වාර්තා කරයි.

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS