සිරියානු ජනපති අසනීප වෙලා



සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් එරට පාර්ලිමේන්තුව අමතද්දී, හිටිහැටියේ රෝගී විය. වෛද්‍යවරුන් පසුව  කියා සිටියේ, 54 හැවිරිදි ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය පහළ වැටී ඇති බවය.

ජනපති අසාද්, පාර්ලිමේන්තුව ඇමැතුවේ, ඇමෙරිකන් සම්බාධකවලින් සිරියාවට එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. පැය භාගයක් පමණ කතා කරමින් සිටි ජනාධිපතිවරයාට වචන පැටලෙන්න පටන් ගැණින. ඔහු දෙවරක්, ඔහු ඉදිරියෙන් තිබූ වීදුරුයෙන් වතුර බීවේය.

දිගින් දිගටම දැණුනු අපහසුතාව හේතුවෙන්, ‘මා මිනිත්තුවකට වාඩි වෙන්න ඕනෑ. මට අසනීප ගතියක් දැනෙනවා’ යැයි ජනාධිපති අසාද් රැස්ව සිටි පිරිසට පවසමින් අසුන් ගත්තේය. කඩිනමින් වෛද්‍යවරුන් ජනාධිපතිවරයා පරීක්ෂා කළේ එම අවස්ථාවේදීය. එහිදී අනාවරණය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය අඩු වී ඇති බවය.

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් නික්ම ගිය ජනාධිපති අසාද් පැය කීපයකට පසු යළි පැමිණියේය. ‘ඊයේ සවස සිට මට හරියට කෑම වැටුණේ නැහැ. මගේ සීනි මට්ට අඩුවෙලා.’ යැයි ජනාධිපතිවරයා සභාවට පැහැදිලි කළේය.

දීර්ග කාලයක් ධුරයේ රැඳී සිටින සිරියානු ජනාධිපති අසාද්, ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටී. සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, ජනාධිපති අසාද් බලයෙන් නෙරපා දැමීමට උත්සහ ගැනීම පසුගිය කාලයේ පැවැති සිරියානු සිවිල් යුද්ධයට හේතුවක් විය. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් හිස එසවූයේ සිරියානු සිවිල් යුද්ධය සමඟය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සිරියානු ජනාධිපති අසාද්ගේ රජය පෙරළා දැමීමට නොහැකි වූයේ රුසියාව, ඉරානය සිරියානු රජයට සහාය දැක්වූ බැවිනි. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය ෂියා මුස්ලිම් රජයකි. ඉරානයේ සහාය අසාද්ට හිමිවන්නේ ඒ නිසාය.

ඩමැස්කස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS