වන්දනාකරුවන්ට පහරදීම හෙලා දකිනවා



ඉස්ලාම් දහමේ තෙවැනි පූජනීය ස්ථානය වන ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානයේ රාමදාන් වන්දනාකරුවන්ට ඊශ්‍රයල ආරක්ෂක අංශ පසුගිය දා එල්ල කළ ප්‍රහාරය හෙළා දකින් බව ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගීතා කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ ප්‍රධාන ලේකම් එම්.ෆවුසර් ෆාරුක් යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

අල් අක්සා දේවස්ථාන භූමිය අසල පිහිටි ෂික් ජාරා ප්‍රදේශයේ බලහත්කාරයෙන් නීති විරෝධීව ඊශ්‍රායල පදිංචිකරුවන් සඳහා නිවාස ඉදි කිරීමට පලස්තීන පවුල් සිය ගණනක් නීති විරෝධීව ඉවත් කිරීමට ගන්නා අලුත් උත්සහාය ද හෙළා දකින බව එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ඉස්ලාමීය ආගමේ තුන්වැනි පූජනීය ස්ථානය වන ජෙරුසලමේ අල් අක්සා පූජ්‍යස්ථානයේ රමදාන් සමයේ වන්දනාකරුවන්ට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා පසුගිය සතියේ එල්ල කළ කුරිරු ප්‍රහාරය ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගිතා කමිටුව තරයේ හෙළා දකී. ඒ සමගම ඒ අසළ ෂික් ජාරා ප්‍රදේශයේ බලහත්කාරයෙන් නීති විරෝධීව ඊශ්‍රායෙල් පදිංචිකරුවන් සඳහා නිවාස ඉදි කිරීමට පලස්තීන පවුල් සිය ගණනක් නීති විරෝධීව ඉවත් කිරීමට ගන්නා නවතම උත්සාහය ද හෙළා දකිමු.

ලොව පුරා පැතිරි වාර්තා සහ ඊශ්‍රායෙලයෙන් ලැබෙන තොරතුරු අනුව පසුගිය සිකුරාදා එම පූජ්‍යස්ථානයට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා සහ පොලිසිය, කඳුළු ගෑස්, ග්‍රෙනේඩ් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරවලින් උපවාස සමයේ අවසාන සිකුරාදා රමදාන් පූජාවන්ට එක් වූ පලස්තින වන්දනාකරුවන් 200කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. මෙම මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ සංස්කෘතික කෲරත්වය පිළිකුළෙන් හෙළා දකිමු. එය වසර 70කට අධික කාලයක් තිස්සේ ඊශ්‍රායෙලය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින පලස්තීන ප්‍රදේශයේ සිවිල් වැසියන්ට එරෙහිව ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා පසුගිය සිකුරාදා එල්ල කළ ප්‍රහාරය සිවු වැනි දිනටත් එල්ල කළ කුරිරු ප්‍රහාරය යි.

ඊශ්‍රායෙල් ආක්‍රමණික හමුදා විසින් එම ප්‍රහාර ඊට යාබද ෂික් ජාරා ප්‍රදේශයට ද ව්‍යාප්ත කර ඇති අතර එම ප්‍රදේශය දශක ගණනාවක් තිස්සේ කෙරෙන නීති විරෝධී ඊශ්‍රායෙල් ජනාවාස පිහිටුවීමේ වැඩ පිළිවෙළේ අලුත්ම ඉලක්කයයි. යුදෙව් ජනාවාස පිහිටුවීමට ඊශ්‍රායෙල් අධිකරණයේ අනුමැතිය ලැබුණ හොත් එහි මුල් පදිංචිකරුවන් වූ පලස්තීනුවන් පලවා හැරීමේ අවදාමට ලක් වේ.

ජන කොටසක් ඉලක්ක කර ගත් පලවා හැරීමේ ප්‍රතිපත්තියක පවතින ජන ඝාතන සහ වාර්ගික ශුද්ධ කිරීමේ තත්වය නිසා මෙම නීති විරෝධී ඊශ්‍රායෙල් ජනාවාස ඉදි කිරීමේ වැඩ සටහන අතිශයෙන්ම ප්‍රහාරාත්මකය.

ඊශ්‍රායෙලයේ මෙම මිලේච්ඡ නීති විරෝධී ක්‍රියා හෙළා දැකීමට ලෝක ප්‍රජාව සමග එක්වන ලෙසත් ඊශ්‍රායෙලය විසින් අත්පත් කර ගත් පලස්තින ප්‍රදේශයේ පවත්වා ගෙන යන වර්ණ භේදවාදී ආකාරයේ පාලනයට එරෙහිව ශ්‍රී ලාංකික ජනතාවගේ කෝපය පළ කරන ලෙසත් අපි ශ්‍රී ලංකාණඩුවෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම අල් අක්සා පූජ්‍යස්ථානය ඇතුළත් ජෙරුසලමේ පූජනීය ස්ථානවල නිල භාරකාරත්වය හිමි ජොර්දාන් රාජධානියෙන් සිය වගකීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටිමු.

යටපත් කර ගත් ජනතාවක් සම්බන්ධයෙන් ඇති අන්තර්ජාතික නීතිමය බැඳීම් ඉටු කරන ලෙසත්, සම්ප්‍රදායිකව වන්දනාකරුවන් ඇතුළත් සියලු ජනතාවට අල් අක්සා පූජ්‍යස්ථානය සහ ඒ අවට ප්‍රදේශයට කිසිම බාධාවකින් තොරන පිවිසිමට පහසුකම් සලසන ලෙසත් ඊශ්‍රායෙල් බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

යටත් විජිත හරණ ප්‍රතිපත්තියේ නොවිසඳී ඇති ප්‍රශ්නයක් වන පලස්තීන ජනතාව සම්බන්ධයෙන් තම වගකීම් ඉටු කරන මෙන් අපි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිමු.”


RECOMMEND POSTS