බළඇණියක් ඇෆ්රින් පළාතේ



සිරියානු රජයට සහ රජයේ හමුදාවට සහාය පළ කරන සටන්කාමීන්ගෙන් සැදුම්ලත් බළඇණියක් ඇෆ්රින් පළාතට පැමිණි බවත්, ඇෆ්රින් පළාතේ සිරියානු සිවිල් වැසියන් ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් බවත් ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

ඇෆ්රින් පළාත පිහිටා ඇත්තේ සිරියානු තුර්කි දේශසීමාවේය. එය සිරියාවේ කොටසකි. කෙසේ නමුත් ඇෆ්රින් පළාතේ පාලනය ඇත්තේ සිරියානු රජයට හෝ එරට හමුදාවට හෝ නොව කුර්දි බෙදුම්වාදී සටන්කාමීන්ට සහ කුර්දි දේශපාලන කණ්ඩායම්වලටය.

කුර්දි බෙදුම්වාදීන් තුර්කියට හිසරදයකි. තුර්කියේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මෙම බෙදුම්වාදීන්ය. තුර්කිය මොවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වයි.

සිරියානු රජයට සහාය පළ කිරීමක් ලෙස තුර්කිය ඇෆ්රින් පළාතටෙ හමුදා යවා ඇති අතර, කුර්දි ත්‍රස්තවාදීන් සමඟ යුද ගැටුම් ඇවිළෙමින් පවතී.

තුර්කි හමුදා ප්‍රහාරවලින් තමන් පීඩාවට පත්ව සිටිනවා යැයි ඇෆ්රින් පළාතේ සිරියානු වැසියෝ සිරියානු ජනපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ රජයට දන්වා ඇති අතර, සිරියානු රජය ඊට පිළිතුරු දෙමින්, ඔවුන්ට හිතවත් සටන්කාමීන් ඇෆ්රින් පළාතට එවූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇෆ්රින් පළාතේ ප්‍රධාන චතුරස්‍රයට පැමිණි එම බළඇණිය පිළිගැනීමට දස දහසක් සිවිල් වැසියෝ පැමිණ සිටියේ සිරියානු ජාතික ධජ සහ සිරියානු ජනාධිපති අසාද්ගේ ඡායාරූප ද ඇතැතිව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම සටන්කාමීන් තුර්කි හමුදා සමඟ සටන් ආරම්භ කළොත්, සිරියාව සහ තුර්කිය අතර නව අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

බෙදුම්වාදී කුර්දිවරුන්ට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවෙයි. තුර්කිය චෝදනා කරන්නේ කුර්දි සටන්කාමීන්ට අවි ආයුධ දී ශක්තිමත් කරන්නේ ඇමෙරිකාව බවය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කුර්දිවරුන්ට සහාය පළකරන්නේ සිරියාවේ බෂීර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සඳහාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS