පෙම්වතිය නිසා නෝර්වේ ඇමැතිට වැඩ වරදී



ඉරාන ජාතික පෙම්වතිය සමඟ ඉරානයේ නිවාඩුවකට යෑම සම්බන්ධයෙන් හටගත් අර්බුදයක් මුල්කොට ගනිමින් නෝර්වේ ධීවර ඇමැති පර් සැන්ඞ්බර්ග්ට සිය ධුරය අහිමි වී ඇත.

58 හැවිරිදි සැන්ඞ්බර්ග් සහ ඔහුගේ 28 හැවිරිදි ඉරාන ජාතික පෙම්වතිය බහ්රේයා ලෙට්නස් ඉරානයේ නිවාඩුවකට ගොස් ඇත්තේ ඉකුත් මාසයේය.

ඇමැතිවරයා ඉරානයට යද්දී, නෝර්වේ රජයෙන් ලබා දුන් ජංගම දුරකතනය රැගෙන ගොස් තිබේ. එය ආරක්ෂක ගැටලුවක් විය.

ජංගම දුරකතනය හරහා ඉරාන රහස් ඔත්තු සේවා නිලධාරීන්ට නෝර්වේ රජයේ රහස් ලබා ගැනීමට ද හැකියාව තිබුණු බවත් එවැන්නක් සිදුවන්නට ඇති බවත් නෝර්වේ බුද්ධි අංශ සැක කරයි.

සැන්ඞ්බර්ග්ට මේ සම්බන්ධයෙන් නෝර්වේ අගමැතිනී සෝල්බර්ග්ගෙන පමණක් නොව පාලක ප්‍රගතිශීලී පක්ෂයෙන් පවා දෝෂාරෝපණ එල්ල විය.

ඒ අනුව, තමා අතින් සිදුවුණු වරද පිළිගෙන වහා ධුරයෙන් ඉල්ලා අස්වීමට සැන්ඞ්බර්ග් කටයුතු කළේය.

සැන්ඞ්බර්ග්ගේ පෙම්වතිය බහ්රේයා ලෙට්නස් හිටපු ඉරාන රූ රැජිනකි. කෙසේ නමුත් මේවනවිට ඇය මත්ස්‍ය අපනයන කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරික කාන්තාවකි.

ඇය නෝර්වේ පුරවැසියෙකි. ඉරානය සමඟ ඇගේ ඇති එකම සම්බන්ධය නම් ඇගේ ඥාතීන් ඉරානයේ සිටීම පමණක් යැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් බහ්රේයා ලෙට්නස් ඉරාන චරපුරුෂයන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට නෝර්වේ බුද්ධි අංශ සැක කරයි. ඇගේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ද නොර්වේ බුද්ධි අංශ පවසා ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS