පාපන්දු තරගය බලන්න අවසර



ආසියානු ශූරයන්ගේ කුසලාන පාපන්දු අවසන් තරගය ඉරානයේ තෙහෙරාන් අගනුවර පැවැත්වුණු අතර, එම තරගය නැරැඹීමට ක්‍රීඩාංගනයට යෑමට ඉරාන කාන්තාවන්ට අවසර හිමිවිය.

ඒ අනුව, දහසකට ආසන්න කාන්තාවන් පිරිසක් තෙහෙරාන් ක්‍රීඩාංගනයට රැස්ව තරගය නැරැඹූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අවසන් තරගය පැවැත්වූයේ ඉරාන කණ්ඩායම සහ ජපන් කණ්ඩායම අතරේය.

එයින්, ඉරාන පෙර්සේපොලිස් කණ්ඩායම පරාජය කිරීමටත්, ආසියානු ශූරයන්ගේ කිරුළ දිනා ගැනීමටත් ජපන කෂිමා ඇන්ට්ලර්ස් කණ්ඩායම සමත් විය.

ෂියා මුස්ලිම් ඉරානය, ඔවුන්ගේ ප්‍රතිපත්ති ලිහිල් කරමින්, කාන්තාවන්ට පාපන්දු තරගාවලිය නැරැඹීමට අවස්ථාව දී ඇත්තේ වසර 35 කට පසුව යැයි ද පැවැසෙයි.

තෙහෙරාන් ක්‍රීඩාංගනයට පැමිණ සිටි කාන්තාවන් අතර ඉරාන පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් සහ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනකු සිටි බව ද ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ.

පසුගිය මාසයේ ඉරානය සහ බොලිවියාව අතර මිත්‍ර තරගයක් පැවැත්විණි. තෝරා ගත් කාන්තාවන් පිරිසකට එය නැරැඹීමට ඉරාන බලධාරීන් අවසර ලබා දුන්නේ යැයි ද ඉරාන පුවත් සේවා පෙන්වා දෙයි.

පසුගිය මාර්තුවේ, ඉරාන පෙර්සේපොලිස් කණ්ඩායම සහ තවත් ඉරාන පාපන්දු කණ්ඩායමක් අතර පැවැත්වුණු තරගයක් නැරැඹීමට උත්සාහ කළ කාන්තාවන් 35 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

(බී.බී.සී.)


RECOMMEND POSTS