කොරෝනා නසන සාර්ථක ප්‍රතිකර්මයක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි විදියේ නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමත් වී ඇති බවත්, එම ප්‍රතිකර්මය සම්බන්ධයෙන් යුරෝපා රටවල වෛද්‍ය පර්යේෂකයන්ගේ ද අවධානය යොමු වී ඇති බවත් වාර්තා වේ.

තමන් හඳුන්වා දුන් නව ප්‍රතිකාර ක්‍රමය බෙහෙවින් සාර්ථක බවත්, ‘කොවිඞ් 19’ ආසාදිත රෝගීන් කඩිනමින් සුවය ලබන බවත් එක්සත් අරාබි එමිරේට්ස් වෛද්‍යවරු අනාවරණය කළේ ඉකුත් පළමු වැනිදාය. අබුඩාබි රෝහල් කිහිපයක ‘කොවිඞ් 19’ ආසාදිතයන් යොදා ගනිමින් ප්‍රතිකර්මය සිදු කළේ එක්සත් අරාබි එමිරේට්ස් වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතව යැයි ද පැවැසෙයි.

නව ප්‍රතිකර්මය හඳුන්වා දී ඇත්තේ ‘අබුඩාබි ස්ටෙම් සෙල්ස්’ විද්‍යායතනයේ වෛද්‍ය පර්යේෂකයන්ය. ඉංග්‍රීසි බසින් ‘ස්ටෙම් සෙල්ස්’ යනු කඳ සෛලවලටය. ‘කොවිඞ් 19’ මර්දන නව ප්‍රතිකර්මය කඳ සෛල යොදා ගනිමින් සිදු කරන්නකි.

කඳ සෛල ප්‍රතිකර්මය සාර්ථකවීමත් සමඟ ‘අබුඩාබි ස්ටෙම් සෙල්ස්’ විද්‍යායතනයට පේටන්ට් බලපත්‍රයක් ලබා දීමට ද එමිරේට්ස් මුදල් අමත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් අරාබි එමිරේට්ස් පාලකයෝ ද නව ප්‍රතිකාර ක්‍රමය හඳුන්වාදීම සම්බන්ධයෙන් විද්‍යායතනයේ වෛද්‍ය පර්යේෂකයන්ට ස්තුතිය පළ කර ඇතැයි ද වාර්තා වේ.

කඳ සෛල යනු මනුෂ්‍ය අපේ සිරුරේ ඇති විශේෂ සෛල වර්ගයකි. සිරුරේ එකිනෙකට වෙනස් ස්ථානවල (උදාහරණයක් ලෙස මොළයේ හෝ මාංශපේෂීන් ආදිය) සෛල ලෙස වර්ධනය වීමට කඳ සෛලවලට හැකියාව ඇත. රෝගී පටක යළි නිරෝගී කිරීමටත්, අංශභංග සහ ඇල්ෂයිමර් රෝගීන් සඳහාත් කඳ සෛල යොදා ගනිමින් ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.

(ඇරෑබ් නිවුස්)


RECOMMEND POSTS