කශොග්ජී මැරූ බව සෞදිය පිළිගනී



සෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී තුර්කියේ ඉස්තාන්බුල් නුවර තම කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වී ඇති බව සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞදි අරාබිය අද (20) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මාධ්‍යවේදී කශොග්ජී ඝාතනය කෙරුණු බවට තුර්කි රජය පසුගිය දින කිහිපය පුරාවට චෝදනා නගන්න විය. ඒ ප‍්‍රබල සාක්ෂි රැසක් ද ඉදිරිපත් කරමිනි. කෙසේ නමුත් සෞදිය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කර තිබුණි.

සෞදි ජාතික ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී, තම කොන්සල් කාර්යාලයේ දී එහි සිටි කිහිප දෙනකු සමඟ බහින්බස් වීමකටත්, ඉන්පසු එය දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකටත් සම්බන්ධ වුණු බවත්, එය අවසානයේ දී පහර කෑමට ලක් වී, කශොග්ජී මියගොස් ඇති බවත් සෞදි රජය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයෙහි සඳහන් වෙයි.

අනපේක්ෂිත අයුරින් කශෝගී මරණයට පත් වුණු හෙයින්, කශොග්ජී සමඟ රණ්ඩුවට පැටලූණු පිරිස, ඔහුගේ සිරුර සැඟවීමට උත්සාහ ගෙන ඇති බවත් සෞදි රජය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

59 හැවිරිදි ජමාල් කශොග්ජී පසුගිය දෙවැනි දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, කලින් විවාහයේ දික්කසාද ලියවිලි ලබා ගැනීමටය. මොහු තුර්කි කාන්තාවක වන හටීජේ ජින්ගිස් නමැත්තිය සමඟ විවාහ වීමට සූදානමින් සිට ඇත.

කශොග්ජී කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ ද හටීජේ ජින්ගිස් සමඟය. තුර්කි ජාතික කාන්තාවක් වන හෙයින් ඇයට කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට අවසර නැත. ජමාල් කශොග්ජී තනිවම කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇති අතර පැය ගණනක් ගත වුවත් ඔහු යළි පැමිණියේ නැත. ඒ අනුව, හටීජේ ජින්ගිස් තුර්කි පොලිසියට කශෝගී අතුරුදන් බවට පැමිණිලි කළාය.

ජමාල් කශොග්ජී ඇමෙරිකාවේ පුරවැසියකු ලෙස ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත් සේවයට සම්බන්ධ වී පුවත් වාර්තා කළ අයෙක් විය. ඔහු සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කරමින් පුවත් පළ කළ මාධ්‍යවේදියෙකි. කශෝගීගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මාධ්‍ය පුළුල් අවදානයක් යොමු කරමින් තොරතුරු සොයන්න විය.

තුර්කි රජය ද පරීක්ෂණයක් පැවැත් වූ අතර, ලැබුණු සාක්ෂි ප‍්‍රසිද්ධියට පත් කරමින් තුර්කි පරීක්ෂණ කණ්ඩායම් කියා සිටියේ, සෞදි කුමරුන්ගේ අණ පරිදි ඝාතකයන් කණ්ඩායමක් සෞදි කොන්සල් කාර්යාලයේ කශොග්ජී පැමිණෙන තුරු බලන් සිටි බවත්, කොනසල් කාර්යාලයේ දී කශොග්ජී අල්ලා ගෙන පහර දී පණ පිටින් සිටිද්දී සිරුර කැබලි කර, මලූවලට දමා රැගෙන ගිය බවය. සිරුර කපා කැබලි කිරීමට වෝහාරක වෛද්‍යවරයකු ද සම්බන්ධ වී ඇත.

ඝාතනයට සම්බන්ධ එම කණ්ඩායමට අයත් සාමාජිකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ සී.සී.ටීවී. ආරක්ෂක කැමරාවලින් ගත් ඡයාරූප පවා ප‍්‍රසිද්ධියට පත් කිරීමට තුර්කිය කටයුතු කළේය. ඒ අතර සෞදියේ ඔටුන්න හිමි කුමරුන් වන සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් සිටින බව තහවුරු වී ඇත.

කශොග්ජීගේ අතුරුදන් වීමෙන් පසු පසුගිය 6 වැනිදා, අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බව සෞදිය කියා සිටියේය. ඒ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට සෞදියට ගොස් සෞදියේ සල්මාන් රජු මෙන්ම, ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද හමුවී සාකච්ඡුා කිරීමෙන් පසුවය.

ඒ අනුව, සෞදි රජයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් තුර්කිය බලා පැමිණියේය. කශොග්ජී කොන්සල් කාර්යාලයේදී මරා දැමුණු බව පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත්තේ එම පරීක්ෂණ කණ්ඩායමය. කශොග්ජී ඝාතනය වූ බවට සෞදිය නිවේදනයක් නිකුත් කළේ ඒ අනුවය. සෞදි රජය වැඩිදුරටත් පවසා ඇත්තේ, පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරමින් පවතින බවය. තුර්කි රජයේ සහාය ඊට හිමිවන බව ද පැවැසෙයි.

සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයෙන් පසු කොන්සල් කාර්යාලයේ සහ සෞදි රජ පවුලට සමීපව කටයුතු කළ නිලධාරීන් 15 දෙනකු සේවයෙන් නෙරපා දැමීමටත්, තවත් සෞදි ජාතිකයන් 18 දෙනකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු යෙදී ඇත.
රාජකාරිවලින් නෙරපා දැමූ පුද්ගලයන් අතර ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදේශකවරයකු වන සෞද් අල් කටානී පමණක් නොව සෞදියේ නියෝජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා මේජර් ජනරාල් අහ්මද් අල් අසීරී ද සිටිති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS