කශොග්ජී ඝාතනය: එ.ජා. වාර්තාව එයි



සෞදි මාධ්‍යවේදියකු වූ ජමාල් කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකළ විශේෂ පරීක්ෂණයට අදාල පරීක්ෂණ වාර්තාව මේ වනවිට නිකුත් වී ඇත.

එම විශේෂ පරීක්ෂණය සිදු කළේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ඇග්නස් ක්ලැමන්ද්ය.  ලැබුණු සාක්ෂි අනුව, ඝාතනය සම්බන්ධයෙන් තවත් පුළුල් පරීක්ෂණ සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ඇග්නස් ක්ලැමන්ද්ය. නිර්දේශ කර ඇත.

ජමාල් කශොග්ජී ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ සෞදි රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් සම්බන්ධ වූ බවට ප්‍රබල සාක්ෂි සොයා ගැනීමට හැකිවුණැයි ද විශේෂ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

සෞදියේ ඝාතන කණ්ඩායමක් ජමාල් කශොග්ජී ඝාතනය කළේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඔහු ගෙන්වා ගනිමිනි. කශොග්ජීගේ මළසිරුර මෙතෙක් හමුවී නැත. රසායනික දියරයක් යොදා ගනිමින් එය විනාශ කරන්න ඇතැයි අනුමාන කෙරේ.

ඝාතනයට සම්බන්ධ යැයි පැවැසෙන 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සෞදි රජය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් ද පැවැත්විණි. ඒ සියල්ල සිදුවූ බව පැවැසෙන්නේ සෞදි රජයට අවශ්‍ය පරිදිය.

එයින් පස් දෙනකුට මරණ දඬුවම හිමිවුණු බව පැවැසුව ද ඔවුන්ට පසුව සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් නොදනී.
සෞදි රජය තරයේ පවසා ඇත්තේ මෙම සිදුවීමට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS