ඇමෙරිකාවෙන් සෞදියට බිලියන 8 ක අවි ආයුධ



කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ) විරෝධය මැද, සෞදියට ඩොලර් බිලියන 8 ක අවි ආයුධ සෞදියට විකිණීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

සෞදියට ආයුධ විකිණීම සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ දැඩි විරෝධය එල්ල වූයේ, සෞදිය යේමනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් දස දහස් ගණනින් මියයෑමත්, සෞදිය යුද අපරාධ කරනවා යැයි චෝදනා එල්ලවී තිබීමත් හේතුවෙනි.

ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින අර්බුදය සැලකිල්ලට ගනිමින්, ජාතික හදිසි තත්ත්වයක් සේ සලකා, කොංග්‍රසයේ විරෝධය නොසලකා ට්‍රම්ප් සෞදියට ආයුධ විකිණීමට පියවර ගෙන ඇති බව ඇමෙරිකන් මාධ්‍ය සඳහන් කරයි.

ඇමෙරිකාව සෞදියට අවි ආයුධ විකිණීම සම්බන්ධයෙන් විරෝධය දක්වන්නේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ය. ඔවුන් පෙන්වා දෙන්නේ සෞදිය ඇමෙරිකාවෙන් ලබා ගන්නා අවි ආයුධ පසුව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත්, ජෝර්දානයටත් පසුව අලෙවි කරන බවය.

ඉකුත් වසරේ ඔක්තෝබරයේ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශොග්ජී තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනය විය. කශොග්ජී ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ මාධ්‍යාවේදියෙක් ලෙස කටයුතු කළේය. ඔහු දැඩි ලෙස සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු විචේනය කළ අයෙක් විය. කුමරුන්ගේ අනුදැනුම පරිදි ඝාතනය සිදුවුණු බවට චෝදනා එල්ල වූ අතර, ඒ බවට ප්‍රබල සාක්ෂි පවා ලැබුණි.

සෞදිය මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ මිතුරා බවත්, සෞදිය සමඟ බිලියන ගණනින් ගනුදෙනු සිදුවීම ඇමෙරිකාවට ලොකු වාසියක් බවත් පෙන්වා දෙමින්, ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදිය තරහා කර ගැනීමට නොහැකි බව ජනපති ට්‍රම්ප් පැවැසීය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS