ඇමෙරිකා මන්ත්‍රීවරියන්ට තහංචි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටින රෂීදා තලයිබ් සහ ඉල්හාන් ඕමාර් යන ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරියන් දෙදෙනා ඊශ්‍රායල සංචාරයකට සූදානමින් සිටි නමුත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ රජය පවසා ඇත්තේ මන්ත්‍රීවරියන්ට රටට ඇතුළු වීමට අවසර නොදෙන බවය.

රෂීදා තලයිබ් සහ ඉල්හාන් ඕමාර් මන්ත්‍රීවරියෝ ඊශ්‍රායල පාලනයට නතු බටහිර ඉවුරේ සංචාරය කිරීමට සූදානමින් සිටියහ. රෂීදා තලයිබ් සහ ඉල්හාන් ඕමාර් දෙදෙනා විදෙස් සම්භවයක් ඇති ඇමෙරිකන් පුරවැසියන්ය. 43 හැවිරිදි රෂීදා තලයිබ්ට ඇත්තේ පලස්තීන සම්භවයකි. මැයගේ අත්තම්මා බටහිර ඉවුරේ බෙයිට් ඌර් අල් ෆකුවා නමැති කුඩා ගම්මානයේ ජීවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රෂීදා තලයිබ් සහ ඉල්හාන් ඕමාර් පමණක් නොව විදෙස් සම්භවයක් සහිත තවත් කොංග්‍රස් මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටිති. ඒ, ට්‍රම්ප් පරිපාලනය දැඩි ලෙස විවේචනය කර ඇති බැවිනි.

ඊශ්‍රායලයට යෑම වළක්වමින්, ඊශ්‍රායල රජය මෙසේ තමන්ට තහංචි පනවා ඇත්තේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පවතින සමීප මිත්‍රත්වය නිසා යැයි රෂීදා තලයිබ් සහ ඉල්හාන් ඕමාර් චෝදනා නගා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS