අපිත් න්‍යෂ්ටික බෝම්බ හදනවා



ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික බෝම්බ නිපදවන්නේ නම්, තමන් ද න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට කටයුතු කරනවා යැයි සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු කියයි.

සල්මාන් කුමරු මෙසේ කියා සිටියේ ඇමෙරිකා සංචාරයකට සූදානමින්, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉරානය විශ්වාස කළ නොහැකි බවටත්, මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය බවටත් සල්මාන් කුමරු අදහස් දක්වමින් කියා සිටියේය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ 2015 වසරේ දී ඇතිකරගත් ගිවිසුමකට අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කිරීමට එකඟත්වය පළ කර ඇත. ඉරානය පවසා ඇත්තේ ඔවුන් න්‍යෂ්ටික වැඩසටහනින් සිදු කරන්නේ බල ශක්ති අවශ්‍යතා සපුරා ගැනීම පමණක් කියාය.

න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඇතිකර ගත් එකඟතාව අනුව, ඉරානයට නිදහසේ ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු කරගෙන යෑමට අවසරය ලැබී ඇති බවට සෞදියේ සල්මාන් කුමරු චෝදනා නගයි. ඔහු ඉරානයේ උත්තරීතර නායක අල් කොමේනී හඳුන්වා දී ඇත්තේ ‘හිට්ලර්’ කෙනකු කියාය.

(බී.බී.සී.)


RECOMMEND POSTS