අයි.එස්. යුද්ධය අවසන්



අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් සමඟ කළ සටන අවසන් බවත්, ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගනු ලැබ සිටි සියලු ඉරාක නගර සහ පළාත් මුදා ගත් බවත් ඉරාක රජය නිවේදනය කළේය.

අයි.එස්. ත්‍රස්තවාදීන් දයේෂ් තක්ෆීරි යනුවෙන් ද හැඳින්වෙයි. ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් බව නිවේදනය කළේ ඉරාක අගමැති හයිදර් අල් අබාදි, බැග්ඩෑඞ් අගනුවර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ඉරාක රජයේ ප්‍රහාර හමුවේ පලා යමින් සිටින ත්‍රස්තවාදීන් මේ වනවිට ඉරාක දේශසීමාවේ සැඟවී සිටින බවත්, ඔවුන් ද මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවත් ඉරාක අගමැති පැවැසීය.

ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගනු ලැබ සිටි අවසන් නගරය වූයේ ඉරාක දේශසීමාවට යාබදව පිහිටා ඇති රාවා ය. රාවා නගරය ද මේ වනවිට මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඉරාක රජයේ හමුදාවෝ සමත් වී සිටිති.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ඉරාකයේ පමණක් නොව ඉරාකයේ අසල්වැසියකු වන සිරියාවේ ද ක්‍රියාත්මක විය. අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඝාතනයට ලක් වුණු ඉරාක නායක සදාම් හුසේන්ගේ බාත් නමැති දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීන්ගෙන් බිහිවුණු ඉස්ලාමීය අන්තවාදී සංවිධානයකි.

මොවුන්ගේ ආරම්භය ඉරාකය වුවත්, මොවුන් කරළියට පැමිණියේ සිරියානු සිවිල් යුද්ධය හරහාය. බටහිර රටවලින් මුස්ලිම් වැසියෝ රැසක් සිරියාවට ගොස් මෙම සංවිධානය සමඟ එක් වූහ.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පාලනයට එරෙහිව  විපක්ෂ දේශපාලන කණ්ඩායම් අවි අතට ගෙන සටන් වදිද්දී, ඉරාකයේ සිට පැමිණි අයි.එස්. ත්‍රස්තවාදීන් සහ අල් කයිඩා හිතවාදී අල් නුස්රා ත්‍රස්තවාදීන් වෙන් වෙන්ම සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දැක්වීය. බටහිර රටවලින් ලැබුණු අවිවලින් ශක්තිමත් වූයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි. එය ඉන්පසු මුළු ලොවටම තර්ජනයක් විය.

සිරියාවේ ද අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති. ඒ, රුසියානු හමුදාවෙන් ලැබුණු සහාය හේතුවෙන්.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමත් සමඟ රුසියාව පවසා ඇත්තේ සිරියාවට යැවූ රුසියන් හමුදා ආපසු ගෙන්වා ගැනීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS