තරහා වෙන්න බෑ



සෞදි මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී ඝාතනය මුල්කොට ගනිමින්, සෞදිය සමඟ හිත් අමනාපකම් ඇතිකර ගැනීමට තමන්ගේ කැමැත්තක් නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටී.

ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් තුර්කි ආරක්ෂක අංශ විසින් එක් රැස් කරගනු ලැබූ සියලු සාක්ෂි සහ හඬ පට මේ වනවිට ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයට ලැබී ඇත.

ලැබුණු සාක්ෂි අනුව සහ හඬපට අනුව පෙනී යන්නේ 59 හැවිරිදි කශොග්ජී ඝාතනයට අනුමැතිය ලබා දී ඇත්තේ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන් කියාය.

ජමාල් කශොග්ජී සම්බන්ධයෙන් ඇති හඬපට තමන්ට ද ලැබුණු නමුත් ඒවාට සවන්දීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නැති බව ද ට්‍රම්ප් පවසා ඇත.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරි දින කිහිපය ඇතුළතදී තම පරිපාලනය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලබනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.

ඝාතනය සිදු කළේ කවුරුද, චෝදනා එල්ල වී ඇති ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඝාතනය මෙහෙයවූවා ද යන්න සම්බන්ධයෙන් සැක හැර දැන ගැනීමට එම වාර්තාව ඉවහල් වනු ඇතැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

සෞදිය යනු ඇමෙරිකාවේ මැදපෙරදිග මිතුරා බවත්, මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට එරෙහිව ඇමෙරිකාවට සහාය දක්වන්නේ සෞදිය බවත්, ඇමෙරිකාව සහ සෞදිය අතර ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් ගනුදෙනු සිදුවන බවත් පෙන්වා දෙමින් ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ සෞදිය සමඟ හෝ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් සමඟ හෝ අමනාප වෙන්න තමාගේ කිසිදු අදහසක් නැති බවත්ය.


RECOMMEND POSTS