සිරුරු කොටස් සොයා මෙහෙයුම්



තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී (හෂුක්ජී) ගේ සිරුරු කොටස් සොයා තවමත් මෙහෙයුම් සිදුවන බව සෞදි අරාබිය පමණක් නොව, තුර්කිය ද කියයි.

59 හැවිරිදි ජමාල් කශොග්ජී, ඇමෙරිකන් පුරවැසියෙකි. මොහු පසුගිය දෙවැනි දා සෞදි කොන්සල් කාර්යාලයට ගොඩ වී ඇත්තේ, පෙර විවාහයේ දික්කසාදයට අදාල ලියකියවිලි ලබා ගැනීමටය. කශොග්ජී තුර්කි ජාතික කාන්තාවක වන හටීජේ ජින්ගිස් නමැත්තිය සමඟ විවාහවීමට සූදානමින් සිටියේය.

කොන්සල් කාර්යාලයට ගිය කශොග්ජී යළි පිටතට පැමිණියේ නැත. ඔහු අතුරුදන් බව පැවැසිණි. තුර්කි රජය කියා සිටියේ කොන්සල් කාර්යාලයේදී කශොග්ජී මරා දැමුණු බවත්, කපා කොටා වෙන් කළ සිරුරු කොටස් මලූවල දමා කොන්සල් කාර්යාලයෙන් රැගෙන ගිය බවත්ය.

සිරුරු කොටස් ඉස්තාන්බුල් වනාන්තරයක වළලන්න ඇතැයි අනුමානය කරමින් තුර්කි පොලිස් නිලධාරීන් එම වනාන්තරය පීරුව ද සිරුරු කොටස් මෙතෙක් හමුවී නැත.

කශොග්ජී සම්බන්ධයෙන්, සෞදි අරාබිය ද අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීය. සෞදිය, එම පරීක්ෂණය ආරම්භ කළේ පසුගිය 6 වැනිදාය. ඒ, විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් තුර්කියට යැවීමෙනි.

එම පරීක්ෂණ කණ්ඩායම කළ පරීක්ෂණවලින් පසු සෞදිය රජය පසුගිය 21 වැනිදා කියා සිටියේ ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයේ දී බහින්බස්වීමෙන් පසු රණ්ඩුවකට පැටැලීමෙන් පසු ගුටිබැට හුවමාරුවක් නිසා ජමාල් කශෝග්ජී මියගිය බවය. එම ගුටිබැට හුවමාරුවට සම්බන්ධ පිරිස කශොග්ජීගේ සිරුර කොටස් කර සැඟවීමට උත්සාහ ගෙන ඇති බවත් සෞදි පරීක්ෂකයන් අනාවරණය කර ගෙන ඇති බව ද පැවැසිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS