සල්මාන් කුමරු සමඟ සාකච්ඡා



ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැද පෙරදිග ස්ථාවරත්වය, තෙල් වෙළෙඳපොළ යනාදී කරුණු රැසක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් කුමරු සමඟ සාකච්ඡා කළ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දුරකතන ඇමතුමක් දෙමින් සෞදි කුමරු සමඟ එම කරුණු සාකච්ඡා කර තිබේ. මැද පෙරදිග කලාපයේ සෞදි අරාබියේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉරානය ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාව මේ සාකච්ඡාවට ප්‍රධාන හේතුව වී තිබේ.

නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවේදී ඉරානයේ හැසිරීම, මැද පෙරදිග සහ ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේදී සෞදි අරාබියේ ඉතා වැදගත් කාර්යභාරය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බව ධවල මන්දිර ප්‍රකාශක හෝගන් ගිඞ්ලි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර තුර්කියේ දී ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කශොග්ජි සහ ඔහු සම්බන්ධයෙන් ඉකුත් දිනෙක ප්‍රකාශයට පත් කෙරුණු නවතම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සහ සල්මාන් කුමරු අතර සාකච්ඡා වුණේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ධවල මන්දිරය කිසිවක් සඳහන් නොකළේය.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS