ලෙබනනයේ බිහිසුණු පිපිරීමක්



ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ සිදු වූ පිපිරීමෙන් 76 දෙනකු මියගොස් තවත් 3,700 ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමේ කම්පනය ලෙබනන අගනුවර සිට කිලෝමීටර ගණනක් ඈතට දැනී ඇති අතර බොහෝ දුර ඈතින් තිබූ ගොඩනැගිලිවල ජනේල, වීදුරු පවා බිඳී ගොස් ඇතැයි වාර්තා වේ.

කම්පනය හේතුවෙන් ඇතැම් ගොඩනැගිලිවල කොටස් පවා කඩා වැටී ඇතැයි ඇසින් දුටුවෝ කීහ.

වසර ගණනාවකට පසු බීරූට් අගනුවර සිදු වූ බිහිසුණුම පිපිරීම මෙය වන අතර ඇතැම් නගර වැසියන් පිපිරීම භූමි කම්පාවක් යැයි සිතා ප්‍රතිචාර දැක්වූයේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

විශාල පිරිසක් හඩා වැළපෙමින් මාර්ගවල ඇවිද යන අයුරු, ඇතැම් අය රුධිරයෙන් නැහැවුණු ඇඳුම් ඇතිව සිය හිත මිතුරන්, ඥාතීන් සොයා වීදි දිගේ ඇවිද යන අයුරු ද දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීම සිදුව ඇත්තේ ලෙබනනයේ අගනුවර වන බීරූට්හි, වරාය ආශ්‍රිත ප්‍රදේශයේ ය. මෙම ප්‍රදේශයේ නගර මධ්‍යය, එසේත් නැතිනම් නගරයේ හදවත ලෙස සැලකේ.

වරායේ ගබඩාවක රසායනික කම්හල් ගොඩනැගිල්ලක අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇති බවත් පුපුරා ගියේ එම ගොඩනැගිල්ල බවත් පසුව අනාවරණය විය.

මෙම පිපිරීමේ විඩියෝ දර්ශන නගරවාසීන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණු අතර වරාය දිස්ත්‍රික්කයෙන් දුම් වළා නැගෙන අයුරුත් ඒ සැණින් තවත් දැවැන්ත පිපිරුමක් සිදුවන අයුරුත් එම විඩියෝ පටවල දැක්විණි.

මළසිරුරු දහයක් ඊයේ රාත්‍රිය වනවිට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.50ට) පමණ රෝහල් වෙත රැගෙන ඇති බව ආරක්ෂක අංශ සහ වෛද්‍ය අංශ උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. පුද්ගලයන් සිය ගණනක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව ද ලෙබනන රතු කුරුස සංවිධානය සඳහන් කළේය.

ලෙබනන ජනාධිපති මයිකල් අවුන්, රටේ උත්තරීතර ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් සඳහා කැඳවා ඇති බව ද එරටින් දැනගන්නට ලැබේ.

ලෙබනනයේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී අබ්බාස් ඊබ්‍රහීම් වරාය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර පිපිරුම සම්බන්ධයෙන් දැන්මම විමර්ශන ආරම්භ කළ නොහැකි බවත් එසේ වුවත් අවශ්‍ය පියවර ගන්නා බවත් කීය.

පිපිරුම සිසුවුණු අවස්ථාවේ චෝදනා එල්ල වූයේ ඊශ්‍රායලයටය. ඒ ඊශ්‍රායලය කළ ප්‍රහාරයක් කියාය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ එය බිහිසුණු ප්‍රහාරයක් ලෙස තමන් දුටු බවය.

මෙම පිපිරුමට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් නැතැයි එරට ඉහළ නිලධාරියෙක් පවසා ඇත. එමෙන්ම ඊශ්‍රායල රජය පැහැදිලි කර ඇත්තේ ලෙබනනයට මානුෂීය ආධාර ලබා දීමට කඩිණමින් පියවර ගන්නා බවය.

පිපිරුම සිදු වූ ස්ථානයට ගිය ගිනි නිවන භටයන් පිරිසක් ද අතුරුදන් වූ බව විදෙස් පුවත් සේවාවලට බීරූට් ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

ඒ.එෆ්.පී./රොයිටර්ස්/ඩේලිමේල්


RECOMMEND POSTS