ගුවන් ප්‍රහාරයෙන් 31 ක් මරුට



ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් නැගෙනහිර සිරියාවේ, සිරියානු සොල්දාදුවන් නවදෙනකු සහ ඔවුන්ට සහාය දක්වන සටන්කාමීන් 31 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කළ තිබේ. ආයුධ ගබඩා කර තිබෙන ස්ථාන සහ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වී තිබේ. නැගෙනහිර සිරියාවේ ඩියර් එසෝර් නගරයේ සිට ඉරාක දේශසීමාව දක්වා විහිදුණු ප්‍රදේශයකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙන අතර ගුවන් ප්‍රහාර 18කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි පැවසේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ලද මෙම ප්‍රහාරවලින් 40 දෙනකු මරණයට පත්ව ඇති බව මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණ සංවිධානය ද තහවුරු කළේය.

ප්‍රහාරයෙන් මියගිය අයගෙන් නවදෙනකු සිරියානු සොල්දාදුවන් බවත් 31 දෙනා අතර විදෙස් සටන්කාමීන් ද සිටින බවත් එම සංවිධානය සඳහන් කළේය. එම විදෙස් සටන්කාමීන්ගේ ජාතිකත්වය මෙතෙක් තහවුරු වී නැත.

මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණ සංවිධානය බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සංවිධානයකි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහ ෆටිමිට් බ්‍රිගේඩයේ කඳවුරු මෙම ප්‍රදේශයේ ස්ථාපිත යැයි ද එම සංවිධානය සඳහන් කළේය. ෆටිමිට් බ්‍රිගේඩයේ ඉරාන සහ ඇෆ්ගන් සටන්කාමීන්ගෙන් සමන්විත ය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS