ඕමානයේ රැදී සිටි 2,600 එනවා



කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හමුවේ  ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 2600 දෙනෙකුට මේ වන විට නැවත දිවයිනට යෑමට පහසුකම් සලසාදුන් බව ඕමානයේ  ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය  කියා සීටී.

මේ පිරිස අතර ඕමාන රජයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 300 ක්ද මෙරටට එවීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල කටයුතු කර ඇත.

පොදු සමාව ලැබූ මෙම ලාංකික 300 දෙනා  වීසා බලපත්‍ර කල් ඉකුත් වීමෙන් පසු ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැඳී සිටි පිරිස් යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම අසරණ වූ සංක්‍රමණික සේවකයින් අදාළ දඬුවම් සහ දඩ මුදල්වලින් සම්පූර්ණයෙන් නිදහස් කොට, ඕමාන රජය පොදු සමාවක් යටතේ ලංකාවට එවීමට කටයුතු කළ බව  තානාපති කාර්යාලය කියා සිටී.

මෙම ශ්‍රමිකයින් ට ආපසු සිය රට බලා යාමට අවශ්‍ය ගමන් ලේඛන ගාස්තු රහිත සකසා දීමට  මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන ඇත.

මෙම පිරිස අමතරව  රැකියා අහිමිවූ, බන්ධනාගාරවලින් නිදහස් වූ සහ වෛද්‍ය හදිසි අවස්ථා යටතේ සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් පිරිසක්ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත දිවයිනට ගෙන්වා ගෙන ඇත.

මෙම ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහයෝගය ලබා දී ඇත.

අසරණ වූ ලාංකික  ශ්‍රමිකයන්ට ආපසු සියරට බලා පැමිණීම සඳහා දැක්වූ නොමසුරු අනුග්‍රහය වෙනුවෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් ඕමන් සුල්තාන් හයිතම් බින් තාරික්  මහතා වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS